Tuesday, September 29, 2009

32 - ගොවි පොළෙහි තනි වූ සැඳෑවක්

ලොවේ හැම මහ නගර
හැර දමා පැමිණියෙමි මම ගෙදර
සිසිලක් ය මහ රැය ද
දවල් ගිනි ගත් තැන්න
සුව ලබයි ගත නිවා
මහ පොළොව ඇකිළ යයි.

මහළු වූ මේ ගෙදර
ලී ඳඬුත් හඬ නඟයි.
ඇද හැලෙන කසි කබල්
අප නිවස ගැන පියා
කෝල වූ දින ද විය
මා කුඩා කාලයෙ
කළ වැඩ ද බර පතල්
වැඩුණු මහ දුගී බව
නිවස තුළ රැඳී ඇත.

එක් දිනක් එනු නිසැක
බිඳ දමා ඒ මතක
හදන්නට නව නිවස
එහෙත් එම දිනය තව
නැත පැමිණ
ලියා නැති මගේ කවි
කියනු ඇත ඒ පුවත.

මේ රටම වෙයි මනස
මා සතුව ඇති ධනය
නෙත් යොමා ගනින්නෙමි
අවට ඇති කඳු කැටිති
එකින් එක වෙත රැඳෙමි
බලන්නට කඳු වළළු.

දිය ඇදෙන ඇල උඩින්
ඕවිටේ සඳ නැගෙයි
අඳුරු වූ පිටිය මැද
බැටළු ලොම් රන් මිටකි.


(ඔස්ටේ‍්‍රලියානු ලෙස් මරේ මහා කවියාගේ කවියක පරිවර්තනයකි)

Monday, September 28, 2009

31 - මතක යුවතිය

නුරා නුවන් යුග මතකෙන් මතු වෙයි
වියැකුණු හසරැළි යළි මන ඉපදෙයි
පුළුල් උකුළු තල යළි දසුනක් වෙයි
ඔබ රුව මතකය යළි ඉගිළී එයි

ඔබ රුව මතකය ගෙන ආ යුවතිය
ගුවන් යානයේ හනිකට දිව යයි
නිබඳ කුළුණු ගුණ වදන් තවරමින්
මිය ගිය මතකය කැටුව මවෙත එයි

මැරුණු තුරුණු විය සිහින ලොවක් මැද
ගෙවූ වසර හැම කල්ප සයුර විය
කිසිදා නොමැරුණු මතක කල්ප යුග
ඉපදුණු මොහොතකි අතීතයට වැදි

ගෙවූ වසර හැම මතකය කැටි කොට
කෙටි ගමනකි මෙය සුතනඹු වෙත යන
කල්ප ගණන් තුළ බිහි වූ සැමරුම්
නිමවනු ඇත කෙටි හොරා ගණනින්

මතකයෙ ගිළිහුණු නුරා යුවන් යුග
වියකෙනු ඇත මේ ගුවන් ගමනෙ අග
ඔබ ගැන මතකය දුරු කොට හනිකට
යා යුතු වෙයි මා සුතනඹු වෙත අද

කළ යුතු මෙහෙවර ඇත අද අපමණ
යා යුතු වෙයි මා සුතනඹු වෙත
නොරැඳේ නොමැරුණු මතක කල්ප යුග
කළ යුතු මෙහෙවර නිමවෙන හෙට දින

30 - අරුත් සොයා යෑම

රටින් රට සැරි සරන
මේ ගමනෙ අරුත කිම?
යා යුතුය මා වහා
මගේ ගම් දනව්වට

ජීවිතේ අරුත් දත්
මා නොදත් පඬිවරුන් සොයා ගොස්
ලෝකයේ රටින් රට සැරි සැරූ
මේ ගමනෙ අරුත කිම?

හිම රැඳුණු කඳු මුදුන්
කඳුළු කැටි සැලූ විට
ලියූ සුදු කවි පෙලක
මා සැදූ අරුත කිම?

අත් හැර ද මව් බිම ද
එතර වී මහ සයුර
සොයා නෙක ඉසුරු රැස
සදා සුදු මිතුරු කැළ
ලියූ සුදු කවි පෙලක
මා සැදූ අරුත කිම?

මහා තුඟු මැදුරුවල
වෙසෙන මා මිතුරු කැළ
රස තවා ආහාර
නවාතැන් දුන් විට ද
සතුටු වී උන් ගැන ද
ලියූ සුදු කවි පෙලක
මා සැදූ අරුත කිම?

දෙසූ දින සුළු වදන්
පර බසක් කොට වියත්
මා දෙසූ ඒ වදන්
අරුත් රැඳි බව කියූ
වියත් කැළ දෙඩූ බස්
සිත පුරා හඳ රැඳුණු
බව කියා දින පොතක
මා ලියූ කවි පිරුණු
සටහනක අරුත කිම?

ඉසුරු පිරි පැරිස් පුර
දනන් හද මන බැදූ
වෙණ ගැයූ දෙනෙත් අඳ
ගඳඹ දුටු දින එදින
මහ සයුර ලෙස කැළඹි
මගේ හදවතේ වග
මා ලියූ කවි පිරුණු
සටහනක අරුත කිම?

ඉසුරු රැඳි පැරිස් පුර
සරණගත හෙළ පුතුන්
දුටු දිනෙහි සතුටු වී උරණ වී
සරණගත හෙළ පුතුන්
අඳුර රැඳි රටක් හැර
ජීවිතේ සහනයක් සොයන වග
කියන්නට මා ලියූ
කවි පෙළක අරුත කිම?

මේ ගමන නිමා කොට
යා යුතුය ගෙදර මා
නිම නොවූ මෙහෙවර ද
අපමණය වියරු ලොව

කඳුළු හෙළනා දනන්
ඇත මතක දිවයිනක
එහෙත් මා යා යුතුය
දකුණු කුරු දිවයිනට
සුතනඹුන් රැඳී ඇති!


(පැරිස්, 2007 අප‍්‍රියෙල් 28)

Thursday, September 24, 2009

29 - කැල්ගරි මිතුරන්ට

බෝ ගඟ ගලයි අමතක කොට කැලණි ගඟ [1]
නැති වුව පාරු හෙමිහිට උඩ පහළ යන
හිම කැටි රැඳුණු කඳු වැටි වෙයි ගිම් නිවන
සවනට පුරුදු මව් බස වෙයි හද තවන

ඇතුගල නොවේ ගල් කන්දකි ඇස බඳින
ගම දුර වුව ද මිතුරන් වෙයි සොමි ගුණෙන
ඉර නැති වුව ද රිසි අහසකි ගත තවන
මේ දුරු නුවර මිතුරන් වෙයි මහ පවර

(කැල්ගරි, කැනඩාව, 2007, අප‍්‍රියෙල් 15)

[1] බෝ ගඟ- Bow River) කැනඩාවේ ඇල්බටා ප‍්‍රාන්තයේ ඇති
පියකරු ගංගාවකි. එයට ජලය බෝ විලෙන් සහ කැනේඩියානු
රොකී කඳු වැටියෙන් ගලා එයි.

Sunday, September 20, 2009

28 - තනිකම මැකී කැල්ගරියේ ගමක් සැදෙයි

(ආචාර්ය ගාමිණී දිසානායක ඇතුළු පවුලේ
ආගන්තුක සත්කාරය සිහිපත් කරමිනි)

තනිකම මැකී යයි හිම අණු මැකෙන ලෙසින්
සවනට ගලා එයි මට හුරු බසක් සොඳින්
හෙළ බස ගලයි නුපුරුදු සුදු වදන් මැදින්
තනිකම මැකෙයි දියවෙන හිම පියලි ලෙසින්

මා බස දොඩන සුමිතුරු මහතුන් සමුවෙයි
හිම අණු රැඳුණු කඳු වැටියක දුර ද මැකෙයි
මිතුරන් සමග මා ගිය මඟ සිත තුටුවෙයි
ගම දුර වුව ද සතුටින් පිරි නිවෙසක් වෙයි

නොගියත් එකට අකුරට පාසලට පෙර
මිතුරන් වෙතියි අප හඳුනන අයෙක් පෙර
ඉපදුණු රට ද අහිමි ව නැත පවට පෙර
මව් බස සදයි බඳවා අප රටට පෙර

නුපුරුදු රටක අවුරුද්දට කැවුම් සැදෙයි
අවුරුදු දා ට කිරිබත් අතිරස ද ලැබෙයි
මිරිසට ඉවූ බත් මාළු ද දිවග රැඳෙයි
ගම් දොර නැතත් හෙළ බස මට ගමක් ම වෙයි

කැල්ගරි, කැනඩාව, 2007, අප‍්‍රියෙල් 14)

Thursday, September 3, 2009

27 - කැල්ගරි තනිකම

හිම කඳු අතර උණුසුම මම පතා යමි
සුදු පඬි රුවන් මැද කිතු ගොස සොයා යමි
නැතිවුණු රටක ලියවුණු පොත් ගැන දොඩමි
නුවණක් ඇතැයි කියමින් කළු සුදු කරමි

බක් මහ රැඳී ඇත මතකය මැරෙන රට
හිම කඳු පමණි කිරි බත් රුව සදන මට
නෑ මිතුරන් නැත ද සුදු කිතු යසස් යට
තනිකම දැනේ වැටෙනා විට හිම අවට

ඇත කඳු මුදුන් හිම පතනය දරා හිස
රඟ දෙමි පර බසක් සිර කොට උරුම බස
නැත සැනසුමක් කොයි මට හිමි උරුම බස
තනිකම ගලා එයි හඬවා සිත අලස

(කැල්ගරි, කැනඩාව, 2007, අප‍්‍රියෙල් 10)