Saturday, October 17, 2009

35 - අළුත් ගමනක්

නිම වූ කවි රසිකට දී
යන්නෙමු අපි නිරිත දිගට
වසන්තයේ මල් බලන්ට
නුදුටු නුහුරු සිරි බලන්ට

වින්ටර සුළඟ ද දිය වෙයි
ගොළු මුහුදේ රැළි සැඟවෙයි
දකුණු සයුර සිනහ මවයි
නව දසුනක් නෙතඟ මැවෙයි

ඇල්බනි පුර නුහුරු සුළඟ
දකුණු සයුර හා හිනැහෙයි
පර්ත් නුවර සිහිනයක් ය
ඈත රැඳුණු රූපයක් ය

මා මතකය පැහැය සැදූ
දිවයින සිත අත හැර යයි
ඇල්බනි පුර සත්‍යය වෙයි
පර්ත් නුවර සිහිනය වෙයි

සොඳුරු දසුන් සිත සනසයි
දින පොතකින් කවි ගිලිහෙයි
පැරණි මතක සැඟ වී යයි
නව දසුනක් නෙතඟ මැවෙයි

Friday, October 9, 2009

34 - මතක හසරැළි

තිසර නදී හසරැළි මතුවන්නේ
සිහිනය සේ ඔබ මතක ගෙනෙන්නේ
දෙනෙත් විදා ඒ මදහස පුරවා
බලනු මැනවි යළි මතකය දල්වා

පැරණි මතක අද හිස ඔසවාලා
ඔබේ සිනා රැළි මතක ඉපදිලා
ලැබෙතියි මදහස පෙර දින විලසා
වැළපෙයි ගංතෙර නෙත් දිය ඉසලා

සුළඟ ගෙනෙන විට මුහුද හකුළුවා
සෙනෙහෙ රැඳුණු කාලය එහි සඟවා
මිය ගිය මදහස යළි නංවාලා
බලනු මැනවි යළි මතකය දල්වා

තුරුණු වියේ සිහිනය දියවන්නේ
මතක ගමන ගැන කිම ඔබ දන්නේ
දෙරටක මතකය වියකී යන කල
සමුගෙන යන්නට අවසර ගන්නේ


මෙම කවිය ගීයක සේ අසන්න:-

තනුව සංගීතය සහ ගායනය - කෝලිත භානු දිසානායක

ගීයක සේ අසන්න:

http://www.sinhalajukebox.org/cgi-bin/songs.cgi?action=Lyrics&s=A0730004C03

Friday, October 2, 2009

33 - කාලයේ විසිරුණු යුගයක්

ගුවන් විදුලිය තුළින්
මගේ කට හඬ අසා
මා සොයා ගත් මිතුර
පාසැලේ සිටි විලස
දොඩයි ඔබ දොඩමලුව

කාලයේ විසිර ගිය
පැරණි මිතුරන් ගැන ද
ඉසිපතනෙ වගතුග ද
අතීතය අතට ගෙන
අතැ‘ඹුලක සේ සොඳින
කියයි ඔබ සොඳුරු ලෙස

මතු දිනක ඔසී රට නැගෙනහිර
පැවැත්වෙන ඉසිපතන ඩාන්ස් එක
ගැන කියයි තරුණයකු ලෙස සොඳින
ලැබේ ආරාධනා මට සාදයට එන ලෙසට

ගොළුවකුසෙ අසා සිටිනෙමි මම ද
ඔබේ ඒ සොඳුරු හඬ යවිවනේ මතක රැඳි
ජීවිතේ කෙළවරට පා තබා යන මෙදින
ඉසිපතන ඩාන්ස් එක තව දුකක් පමණක් ය

යවිවනේ සොඳුරු වග
මතකයේ රැඳුණුමු‘ත්
එය වියළි මතකයකි
හිස රැඳුණු අක් බඹරු
කෙස් සිඳී ගිය විලස
අතීතය මැකී ගිය ජීවිතේ සැඩ නළකි

යවිවනේ සොඳුරු වග මතකයේ රැඳුණුමු‘ත්
එය වියළි මතකයකි අප ලැබූ දැනුම මෙන්
ශිෂ්‍ය නායකකම් ද අප දිනූ විවාද ද
කාලයට ඇදී ගිය ජීවිතේ සැඩ නළ ය

සොඳුරු‘මුත් අතීතය සිහිනයක් සේ මතක
යළිත් හැකි වෙද අපට සොඳුරු වූ
කාලයේ මාවතට පිය නගා දුවන්නට
ජීවිතේ කෙළවරට පා තබා යන මෙදින

සුදු වතක් ගෙන උවන
සුදු ඩොලර සොයන්නට
යුද වැදුණු ‘මුත් එදින
මෙදින මා මහල්ලෙකි
තුරුණු විය මතක නැති

ඉසිපතන ඩාන්ස් එක
තව දුකක් පමණක් ය
මහළු විය මට හොඳා
නොකළ මෙහෙවර සදන
නෑ එපා ඩාන්ස් එක!