Wednesday, December 30, 2009

47 - පැමිණිල්ලක්

"මේ රඟ මඬලේ රඟ නරඹන්නන් ගේ
කන්වල කුහරේ ඉඩ කඩ පොඞ්ඩක්
මාගේ ගීයට ලැබුණේ නැත."
(ගීය, අබිනික්මන, සිරි ගුනසිංහ)


රට අතහැර මා ගිය බව සැබවකි
එහෙත් කිම ද මට අතවර මේ ලෙස?
ඔබ ලියනා බස් මම ද ලියන්නෙමි
ඔබ දොඩනා බස් මම ද දොඩන්නෙමි

මේ රට ඔබගේ යැයි දොඩවන විට
එය ද මගේ යැයි ලොවට කියන්නෙමි
මෙබස ඔබේ යයි ඔබ දොඩනා කල
ඒ බස මා බස කියා හඬන්නෙමි

මා ලියු වදනක අරුතක් නැති බව
කියා කිම ද මට අතවර මේ ලෙස?
ගඳඹ අමර සර ඔබට ම හිමි නැත
ලෝ වැසි අපට ද හිමි ය අමර සර

රට අත හැර මා ගිය බව සැබවකි
එහෙත් කිම ද මට අතවර මේ ලෙස?

ඔබ ලියනා බස් මම ද ලියන්නෙමි
ඔබ දොඩනා බස් මම ද දොඩන්නෙමි

(ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, 2007 දෙසැම්බර් මස 05)

Monday, December 28, 2009

46 - සුනිල් එදිරිසිංහ මිතුරාට

සරමි සත් මුහුද වට ඔබේ හඬ සොයන්නට
වෙසෙමි ගොළු මුහුද ඉම මිතුරු දම් ලබා සොඳ

ගඳඹ සඳ මා මිතුර කුඩා කල ලැබූ සොඳ
සසර නිම වෙන තුරුම වෙනු මිතුර මගේ හද

කල්ප දින මැකෙන තුරු ගෙවූ මහ ගමන් මඟ
ඔබ ගැයූ මියුරු සර අත්වැලක් වීය මට

බාල විය ගෙවී ගොස් මහළු දිවි පැමිණි දින
පා තබමු මැකුණු දින සොයා යළි ගී මඟින්

මියුරු සත්සර මවන මිතුරු සුනිලූන් පවර
සසර දුක නිවන මඟ කියා දෙනු දිනක මට

Friday, December 18, 2009

45 - සිංහලෙන් නොලියන්න!

සිංහලෙන් නොලියන්න. ලියන්නට හිතන්න, ඉංග‍්‍රිසි කවි ගැනම!
- හිටපු කවියකු දුන් ඕඩරයක්

”සිංහල නොලියන්න.
ඉන් පලක් නැහැ ඔබට
මාත් දැන් ලියන්නේ
අළුත් දේ ගැන තමා
ඒත් ඉන් පලක් නැහැ
තේරෙන්නෙ නැහැ උන්ට
කියවන්නෙ නෑ එවුන්
ඩෙරීඩා ගැන මොකුත්!”

නැගේ පැනයක් මසිත

හෙළ බසින් කවි සදන
කාලයක් නැතුව ඇති
අළුත් දේ ලියන්නට
මනස යොමු කරන විට

ඔබ වටා රැස් ව ඇති
පහළ සිට ඔබ දකින
කන්තෝරු පිරිස් කැල
මැද රැඳුණු සඳක් වූ
සොඳුරු මා සබඳ අද
අළුත් දේ ලියන්නට
මනස යොමු කරන විට
හෙළ බසින් කවි ලියන
කාලයක් නැතුව ඇති

මැති ඇමති තුටු කරන
මුසා බස් ලියන ඔබ
මිනිස ඔබ කවියෙක් ද
ජීවිතේ ඉහළ නැගි?

ලෝක බැංකු ද වඳිත
උන් සරණ පතා ගෙන
ජීවිතේ ඉහළට ම නැඟණු ඔබ
අණ අසමි ගොළු මුහුද එතර සිට

අළුත් දේ ලියන්නට
අළුත් දේ කියන්නට
මනස යොමු කරන ඔබ
ගැන මතක දනිමි මම

පැරණි මතකය මරා
පැරණි පෙම ඉවතලා
දෑවැද්ද ගෙන එදා
අළුත් දිවියක් සදා
ක්ලාස් වන් හිස රඳා
නැගුණු සැටි ජීවිතේ හිණි සදා ...

මා මනසෙ කැටි ගැසුණු
කොම්පියුට මතකයකි

”සිංහලෙන් නොලියන්න”
ඉහළ සිට දෙන අණ ද
පිළිගන්න සිතන‘මුත්
සිහළ බස නැත මැරී
එතර වුව ගොළු මුහුද

සිඛ වළඳ නැති වුව ද
මතකයේ රැඳී ඇත
කවි ලියන හද බසක්
මගේ දිවි වැළඳ ගත්

මතකයේ රැඳී ඇත
කවි ලියන හද බසක්
ලියන්නට මගේ හද
පාරවන පුවත් ගැන

මතකයේ රැඳී ඇත
හිටපු කවියන් ගැන ද
මතක දිවයින ගැන ද
ඉංගිරිසි බස නැතිව!

Friday, December 11, 2009

44 - මහළු නොවන කවියකුට

ඔබ මහළුව ගොස් ඇති වග
මිතුරකු මට දැන් වූ දින
හඬා වැටී කම්පා විය මා හද
මුසා බසක් ඔහු කී ලෙස නොම දැන

කෙලෙස ද ඔබ විය පත් වෙනු අද දින?
කවියන් නම් නැත විය පත් වන වග
මා කිය වූ කවි පොත්වල ලියැ වී
මුසා රැසක්ම ය මිතුරා කියු බස

තුරුණු හදක් ඇති මා නම් තවමත්
කියවමි පෙම් කවි පෙර දින ඔබ ලියු
තුරුණු මතක මැද ලැගුම් සොයා ගෙන
සදා මැරුණු පෙම් රැුළි මතු කොට හද

තුරුණු වියේ අප ජීවය වූ කවි
ලියූ කිවිඳ ඔබ නැත මහළු ව අද
මහළු විය ද නැත එනු ඔබ නිවසට
බියපත් වී එය සැඟ වී යනු ඇත

ඔබ මහළු ව නැත තවමත් මේ ලොව
දනිමි එවග මා දත් අතැඹුල සේ
කියවන විට ඔබ ලියු පෙම් කවි
දකිමි ඔබේ පෙම් රැුළි මතු වන වත

සදා තුරුණු විය ජීවය මතු කොට
ලොව පැහැදුල් බව කවියෙන් මතු කොට
මරණය නැත ඔබ ගෙමිදුල ගැවසෙන
සැඟවෙනු ඇත ඔහු ඔබ පෙම් කවි මැද

43 - සාම රටක වෙසෙන්නෙකුගේ සිතුවිල්ලක්

ලියන්නට හදන විට පෙම් කවක් මැකී යන
පාව එයි දුක් පුවත් මතක දිවයින රැගෙන
බිං බෝම්බ ද පිපෙයි නගර මැද හතු ලෙසින
පිපිර යයි බලගාර එළිය නැති උදෑසන

මැකී ඇත ගම් දනව් මිතුරු නෑයන් වෙසෙන
සාම රට වෙසෙන‘මුත් නුවණ නැත යුද මකන
හදක දුක් සෝක රැළි පිනිය නෙත් කොණ රැඳෙන
යුද නසන බල නොමැත අසරණ ය මා මෙදින

සාම රට වෙසන‘මුත් දකිමි යුද මා අවට
සුදු කළු ම සටනක් ය අවි නැතත් දුක මෙරට
රැගෙන ගිය ළමුන් ගැන කෙරෙන යුද නැත මෙරට
කඳුළු කඳු මිස දකින සැනසුමක් නැත අවට

(2008)

Thursday, December 10, 2009

42- අජිත් සමරනායක නොකිය වූ කවියක්

ඔබ ගොසින් සමු නොගෙන
නොකියාම මිතු වදන්
තරුණු දිවියත් රැගෙන
සදා හද දන දුකින

ලියූ‘මුත් ඔබ සමරු
කඳුළු රැඳි ලිපියකට
කෙසේ මා ලියන්න ද
කුළුණු රැඳි ඔබේ ගුණ

නිල්ල සොයමින් එදින
මා එතර ගිය දිනක
නෙත් රැඳුණු කඳුළු කඳු
ගැන ලියූ මිතුරු තුම!

සොඳුරු ඔපෙරා මවන
මිතුරු ප‍්‍රතිරූපක ද සිනාසෙන‘මුත් මෙදින
සදය උපහාස නොව
ලද කුළුණු මිතු දම් ය

දහස් බැඳි පියලි රැඳි
ගොදුරු සොයමින් එදින
ගිය මිතුරු කැල නොයෙක
ඔබ රැඳිණ මතක දිවයින සොඳින

මිතුරු දම් සුරකිමින්
මදු විතක සුවය ලැබ
ලියා නෙක පුවත් රැස
අසා නැණ රැඳුණු පැන

පිරුණු සඳ ලෙස අහස
සිටිය ඔබ ගොසිණි අද
නොකියාම නිහඬ ලෙස
සදා කඳුලක් නෙතග

නොආ‘මුත් මළ ගමට
මම ද එක් වෙමි මෙදින
කඳුළු රැඳි තරු කැලට
එතෙර සිට වුව මෙදින

Sunday, December 6, 2009

41 - එතෙර කවියා සහ මෙතෙර ලෝකය

(මතක දිවයිනේ රැඳුණු තරුණ කවියකුටය)

තරුණ නුඹත් කවියෙකු වී ලෝකය ගැන කවි ලියනව
තනි යායක් නො වූ ලොවක තොරතුරු ගැන මට කියනව
සේකර මහ කවියා ගැනත් මහ ලොකු නෙක පැන නඟනව
කොම්පියුටර මැද හිරවුණු බිත්ති අතර නුඹ වෙසෙනව

ඒ වුනාට බිත්ති මැදින් පියඹා නුඹ කවි ලියනව
පියා ගැනත් ඉඳල හිටල මහ ලොකු පැනයක් නගනව
ඒ වුනාට ජීවිතයම කවියක් බව මට කියනව
ලොවේ වෙසෙන කවියන් වෙත අසුර සැණින් කවි යවනව

මගේ පුතා මිනිසෙකු වී ලෝකයෙ කවි නැහැ කියනව
තනි යායක් වූ ලෝකෙක සතුටු ඉපිළි මැද වෙසෙනව
සේකර මහ කවිය නොදැන බෙලෙක් හඬට වශී වෙනව
සොඳුරු ලොවක හෝටලයක කුස්සිය මැද ගිනි තපිනව

මතක රටේ වෙසෙන නුඹත් ලෝකය ගැන කවි ලියනව
එතෙර රටේ වෙසෙන මාත් මගේ දුකට කවි හදනව
මා මැරුණම කවි ලියනා අය ගැන සිත දුක තවනව
ලෝකය මහ තනි යායක් ඒ වුනාට දුක රැඳෙනව

Friday, December 4, 2009

40 - බිහිරි සැමියා

මා බිහිරි ව ගොස් ඇති බව
පවසයි ඔබ නිරතුරුව ම
ලියා තබයි කුඩා හසුන්
මා ගැවසෙන කාමරයක

ඔබේ මියුරු වදන් තවත්
නොඇසෙන අප නිවස ගැන ද
සැකයක් මා සිතේ තිබිණ
මෙතුවක් කල් නොදැන අරුත

මිහිරි තෙපුල් සාද කතා
අප නිවසෙන් පලා ගොස් ද
මගේ සිතේ පැනයක් විය
මෙතුවක් කල් නොදැන අරුත

ඔබේ මියුරු වදන් සැම ද
මැල වී යයි මා සවනත
සිත මා බිය වී ය නිබඳ
එකල නැගුණු ගිනි ද නිවිණ

මා බිහිරිව ගොස් ඇති බව
ලියා තැබූ පසු අද දින
නිසසල විය කැළඹුණු හද
එකල නැගුණු ගිනි ද නිවිණ

ලියනු මැනවි සොඳුර තුටින
කළ යුතු වැඩ දිනපතා ම
කොළයක සටහන් කරමින්
පෙර මට ලියු පෙම් බස් මෙන්

සිටිය හැටිය සදා තුටින
මෙදා සොඳුරු බිහිරි ලොවක
කියවා ඔබ අණ තුටු ලෙස
නිති පිළිපදිමින් දෙන අණ


(2007)

39 - මල් නැති පාර

කිම ද සොඳුර උරණව අද
ගඟ පාරෙන් කිම යන්නේ
වසන්තයේ පල දරලා
රජ උයනේ මල් පිපිලා

ගිය වසරෙත් නැහැ දැකලා
පිපි මල් පෙති බිම වැටුණා
සොරු ගත් ලෙස
දරු දෙදෙනා

ඇත්ත තමයි කටරොළු මල්
නැහැ මේ උයනේ පිපිලා
කැන්ගරු පෝ මල් ටිකවත්
යමු බලන්න හිත හදලා

උරණව යන ගමනක පල
වෙද අරුතක් හිත රැඳිලා?
මං දන්නේ නෑ තවමත්
හෙට වෙද මෙහි මල් රැඳිලා?