Thursday, April 15, 2010

මතක මාවත - ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතා ලියූ පෙරවදන - 4

මා නමෝවිත්තියෙන් ම එකරුණ සඳහන් කළේ,සුනිල් ගෝවින්නගේ කවියා මායිම් නොදකින කවියකු බැව් කල්තියා ම සඳහන් කිරිම උචිත යැයි හැගුණු බැවිනි.

සුනිල් ගෝවින්නගේ කවියාගේ ‘මතක කාව්‍ය’ ත‍්‍රිත්වයම මා කියවූයේ නොතිත් ආශාවෙනි. මේ කවි,මෙසමයෙහි ලියවෙන බොහෝ සිංහල කවිවලට වඩා වෙනස් ය. ඒ වෙනස,පිටතින් මෙන් ම ඇතුළතින් ද දක්නා ලැබෙන වෙනසකි. ඔහුගේ මුල් ම කෘතිය වන 'මතක දිවයිනට'විමල් දිසානායක ලියන පෙරවදනෙහි මේ අපුරු වැකි කිහිපය දක්නා ලැබෙයි.

"සුනිල් ගෝවින්නගේ පළකොට ඇති ‘මතක දිවයින’ නමැති මෙම කාව්‍ය සංග‍්‍රහයෙන් ඔහු පාඨකයා කැඳවාගෙන යන්නේ අපූරු ලෝකයකටය. එම ලෝකය වරෙක පියකරු ය: වරෙක බියකරු ය. බොහෝ විට, කනස්සල්ලෙහි දැවටී ඇත ... කනස්සල්ල ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකියි. එනම්, දුක් වීම සහ පරිතාපයයි.... දුක් වීම තාවකාලික ය. පරිතාපය සදාකාලික ය. සිය රටින් බැහැර ව ගොස් වෙනත් රටක පදිංචි වීමත් සම`ග උද්ගත වන පරිතාපය, සුනිල් ගෝවින්නගේ කිවිඳාගේ බොහෝ පද්‍ය රචනාවලින් ගම්‍යමාන වේ.

Thursday, April 8, 2010

මතක මාවත - ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතා ලියූ පෙරවදන - 3

තමා ගැන දුක් තැවුල් ගන්නා 'පිටස්තරයා', 2007 වසරේදී 'මතක පිළිරැව්' පළ කරන විට අමුතු මිනිහෙක් වී ද? ‘මතක පිළිරැව්’ හි මුල් ම රචනය 'කවියා'යන සිරසින් ලියවුණේ ය. කවියා තමා ගැන මෙසේ තෙපලයි:

ලොව දස අත විසිරී ඇති
සුදු කළු වූ මිනිසුන් සැම
ලේ නෑයන් වූ මා හට
පව් පිය නෑයන් කුමට ද?


සුදු කළු වූ මිනිසුන් හැම ලේ නෑයන් බවට පත් වූ විට, මව් පිය නෑයන් කුමටදැයි කවියා විමසයි. ඒ රචනය ලියා ඇත්තේ 1976 වසරේ කොළඹදී ය.

රුසියානු මහ කවි ඉයුජිනි යෙෆ්ටුෂෙන්කෝගේ වචන කොතරම් නිබොරුදැයි විමසා බැලූව මැනවි. කවියා කුරුල්ලකු සේ දේශ සීමා හෙවත් කඩවත් ඉක්මවා පියාඹන්නේ නොවේ ද? එහෙත් මෙතැන්හදීි මගේ සහි යට නැගෙන්නේ,පැරණි සෝවියට් දේශයේ
සිතියම මතින් සදහටම මැකී ගිය ද ගෙස්තානයේ,රසුල් ගම්සාතෝප් නමැතිමහ කවියාගේ 'නිජබිම නමැති රචනයයි. ඒ රචනය අරඹන්නේ මෙසේ ය:

ඇවිද නෙක මාවත්හි මෙලොවේ
ජීවිතේ අරුමය දුටිමි මම
අසති සමහරු නිකම් බොරුවට
”ඔබට නෑයන් නැද්ද පිටරට?”


එකී ප‍්‍රශ්නයට පිළිතුරු දෙන කවියා, ඉස්තාන්බුල් නුවර ඉපදුණු තුර්කි මිනිහා,තමාගේ පියා නොවේදැයි පෙරළා අසයි.කැප්රි පුරවර ගැහැනියක කෙරෙහි තම මවගේ මුහුණුවර දකියි. පැරීසියේ රූබර ළමිස්සියක තමාගේ නැගෙනියකැයි සිතයි. අප‍්‍රිකාවේ උපන් කොල්ලකු තමාගේ සොහොයුරෙකැයි සලකයි. මේ ආදී වශයෙන්,ලොවේ නෙතැන දනන් තමන්ගේ නෑයන් සේ හඳුනාගන්නා කවියා, අන්තිමේ දී මෙසේ කියයි:

කොයි තරම් සතුටක් ද දැන් මට
මේ ලෙසින් නෑසියන් ඇති සඳ
මෙයයි මා දුටු ඇත්ත මමිතුර
මායිමක් නැත අපේ ලෝකෙට


(තුන්වැනි ලෝකයේ කවි සහ වෙනත් කවි - ඩබ්ලියු.ඒ.අබේසිංහ-(1986 අගෝස්තු 1998 අගෝස්තු දෙවැනි මුද්‍රණයේ 107-108 පිටු.

Wednesday, April 7, 2010

මතක මාවත - ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතා ලියූ පෙරවදන -2

ඔහු ඊට කලින් ද කවි පොතක් ලියා ශ‍්‍රී ලංකාවේ දී ප‍්‍රකාශයට පත්කොට ඇත. ඒ කව, 2006 වසරේදී පළ වූ ‘මතක දිවයින’ යි. එහි එක් රචනයක ඔහු මෙසේ කියයි:

රන් කිරි දිවග ගෑ බස නැත දොඩන්නේ
උදේ රැය ද පර බසකි ය දොඩන්නේ
සිසිල නොමැත අව් රස්නෙට දැවෙන්නේ
පිට මිනිසෙකු ලෙසිනි මේ රට මා රැඳෙන්නේ
(මතක උරුමය)

බටහිර ඔස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර, ඔහු රැඳෙනුයේ ‘පිට මිනිසකු’ ලෙස ය. අනෙක් රචනයක දී කවියා තමා පිටස්තරයකු බව ම පසක් කරයි. 'පිටස්තරයා' යන රචනයෙහි අවසන් පැදිය,මේ බැලූව මැනවි:

එකම රුහිරු වැල්මය ගත දුවන්නේ
එහෙත් උන් සුදුය කළු අප තැවෙන්නේ
උගත් සියලූ දේ නුහුරින් දකින්නේ
කුමන පවට මා මේ රට වෙසෙන්නේ

මතක මාවත - ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතා ලියූ පෙරවදන -1

කවිය මලක සුවඳ වැනියැයි, වරක් මම ලියූවෙමි.මා එය යළිත් ප‍්‍රතිරාව කරන්නේ, කවිය හොඳම නිර්වචනය -හොඳම විවරණය - මගේය කියන අනුවණ ආත්මාභිමානී අදහසින් නොවේ.මා කවිය මලක් වැනියැයි කීවේ, මලක සුවඳ උරාගෙන අවසන් කළ නොහැකි සේම, කවියේ ද අරුත උකහාගෙන අවසන් කළ නොහෙන නිසා ය. අන්තිමේදී කවියෙහි අරුත, මලෙහි සුවඳ මෙන් එය තුළ ම රැදී ඉතිරි වෙයි. කවියේ අරුමයත් අසිරියත් එය නොවන්නේද? කෙසේවෙතත්, කවිය ගැන මා දැනුදු ඉතාම හොඳ හැඳින්වීම හැටියට සලකන්නේ, ඉයුජිනි යෙෆ්ටුෂෙන්කෝ ගේ මෙවදන් ය.

”කවිය කුරුල්ලකු වැනිය. එය දේශසීමා නොතකයි.”

එහෙත් දැන් මට හිතෙන කාරණය නම්, කවිය ගැන දී ඇති නිර්වචන තවමත් මදි බව ය.කවිය කැඩපතක් වැනි යැයි දැන් මට සිතෙයි. එහෙත් එය සාමාන්‍ය කැඩපතක් නොවේ ය. ඒ වූ කලී ඇතුළත පිටත දෙක ම බැලිය හැකි අසිරිමත් කැඩපතකි. ඒ සිතිවිල්ල මා තුළ හටගත්තේ, දැනට ඔස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර් ජීවත් වන සුනිල් ගෝවින්නගේ කවියාගේ 'මතක පිළිරැව්' කියවන විට ය.

56 - මරණය කෙටි ගමනකි


”මරණය
ඇවිදින් කලින්ම
අත වනයි
දුර ගමනක් යන්නට
සුදු කොඩි වැල්
අතරින්
පාළු සුසානයට”

ඔබ කැටුව එන්නෙමි, සොල්දාදුවා සහ විජිතය කාව්‍ය සංග‍්‍රහය, උදේනි සරත්චන්ද්‍ර


මරණය මට
දිගු ගමනක් නොවේ සබඳ
කෙටි පාරක අග ය නොරට
සුදු වැල් කොඩි කොයින් ද මට
සුදු තිසරුන් කළු වූ රට

දෙවෙන්දරා ගිය විලසට
යන්ට නොහැක සුසානයට
පණ ඇති කල ගෙවූ කාසි
ගෙන යනු ඇත කළු රියකින්

කරකතාව නිහඬ තැනකි
රේල්ලූවක හඬ ඇරුණම
රැහැයියන් ද නැති දවසක
සිහින් සුළඟ ගී කියා වි

උපත විපත හෝ දක්වන
සොහොන් කොතක් නැති වූ කල
ඔබේ කවිය ඉකි බිඳමින් ගී ගයාවි
රැහැයියන් ද නැති වූ රැය

Sunday, April 4, 2010

55 - මතක මාවතට දිව යමි

හස ගං කෙළවර මතු වී
රැළි රකිනා විට කළුවර
මගේ නිවස ඇත වට කොට
සිහිතල රැළි නළ ගොළුවුණු

ආලින්දයෙ පුටුවක හිඳ
අඬනා විට මා කවි පද
අරගෙන යයි තුරුණු මතක
ගොළු මුහුදෙන් එතර රටට

ආදරයේ ඇඟිලි තුඩින්
මතක ගමන විමසන සඳ
දිවගෙන එයි පැරණි මතක
ගොළු මුහුදේ රැළි විලසින

සැන්දෑ ඉර රජ උයනේ
මරණය සේ ඇවිදින කළ
මතු වී එයි පැරණි සිහින
සොඳුරු අරුම වෙස් අරගෙන

මා අත රැඳි සිහින් කවි ද
යන විට සුළඟට බිය වී
දිවගෙන යයි පැරණි මතක
ගොළු මුහුදෙන් එතෙර රටට

අඳුර ඇවිත් කාමරයේ
ජනේලයෙන් එබෙනා විට
මගේ නිවස ඉකි බිඳිමින්
අඬයි බියව පැමිණිළි කොට

මා ද බිය ව අඳුර සමග
ඉකි බිඳිමින් අඬනා විට
අරගෙන යයි රැඳුණු මතක
මගේ මතක දිවයින වෙත

රැ යම කළුවර ගෙනවිත්
කස පහරින් ගසනා විට
නිදි වෙර කඩමින් මැලි වී
නැගිටිමි සිහිනෙන් අවදිව

රැක ගෙන මා පැරණි මතක
ගොළු මුහුදෙන් එතර රටක
මම සැඟවෙමි සිහින අතර
මැරෙන මතක දිවයින මැද

දරුවන් අප සොරකම් කළ
මිනිසුන් ගැන මා උරණ ව
නිබඳව කරනා පැමිණිලි
අසා හඬන වැළපෙන සිත

වහා රැගෙන යයි හනිකට
මගේ මතක දිවයින වෙත
සොයා ගන්න මැරුණු සිහින
යළිත් නොඑන ගමන් මඟක

උදේට හිරු පැමිණෙන විට
හිරුට සාප නොකර ම මම
නැව් නැග තොටුපොළක් සොයා
යමි රැළි මැද ගොළු මුහුදේ

පෙරවා ගෙන මැරුණු මතක
නිදා ගනිමි රැයක් එතර
ගොළු මුහුදේ කඳුළු අතර
මැකෙන මතක දිවයින වෙත

ඉතිරිව ඇති දින කිහිපය
හෙමින් මැකී යන මේ පැය
මම දුවගෙන යමි හනිකට
ගොළු මුහුදෙන් එතර රටට

මැකෙන මතක අමතක කොට
කළ යුතු වෙයි මා මෙහෙවර
නිම කොට සමු ගෙන යන්නට
මතක නිවා මැරෙන හදක

Saturday, April 3, 2010

54 - සතුරු වූ කාලය

කාලය සතුරෙකි සටනට එන අද
නැත විරියක් අද සටන් වදින්නට
මිතුරන් නොකියා පලා දුවද්දී
හිස් වූ යුද බිම දකිනෙමි බිය වී

”පෙර දින යුද දිනු
යුද භටයෙකු අද
සටනින් පැරදෙන
දිව යන මිනිසෙකි.”

බූත හැඟුම් රැළි
අහසින් වැටුන ද
නිම නැති මෙහෙවර
ගැන සිතමින් මම
මතක මාවතේ
සදා රැඳෙන්නෙමි

Thursday, April 1, 2010

53 - මගේ මරණය

දවසේ අන්තිම හිරු රැස් ද
අවසාන සුසුම් රැළි හෙළද්දී
මම ද මිය ගොස් ඇති බව
පසක් කොට ගතිමි.

මැරෙන හිරු රැස් අතර
මගේ කවි මෙන් මා ද
මිය ගොස් ඇති බව
මම පසක් කොට ගතිමි.

පර බස් හැසිරීමෙන්
උරණ වූ මගේ මනස ද
මිය ගොස් ඇති බව
මම පසක් කොට ගතිමි.

මගේ බස නොදත්
මගේ දරුවන් ද
මා මිය යන බව
කාලයට දන්වා ඇත.

ඔවුන්ගේ මව් බස ද
මිය ගොස් ඇති බව
මම පසක් කොට ගතිමි
මැරෙන හිරු රැස් පරිදි

දවසේ අන්තිම හිරු රැස් ද
අවසාන සුසුම් රැළි හෙළද්දී
මම ද මිය ගොස් ඇති බව
පසක් කොට ගතිමි.