Friday, September 17, 2010

පැනයක්

කූඹියකු සුළු දියෙන් කවිය මඩ කරන්නට
විරිය ගන්නා බවක් කීය මට ගොළු මුහුද
සුවඳ රැල්ලක් සමඟ

සයුරු තෙර විහඟකු ය නොදන්නෙමි
සුළු දියෙන් කූඹියකු කරන වැඩ
මෙතෙර සිටිනා සඳේ

නැත කූඹි හඬ ඇසෙන
මල් වැරුණු උදෑසන මුල් කවිය
ඉකි බිඳී මතක දිවයිනක් මැද

මහළු කවියකු වුව ද
බාල කවියකු වුව ද
සුළු දියෙන් කවිය වියමන් වේ ද?

Monday, September 13, 2010

මතක මඟ ද ඉගිලෙනු ඇත

මා අත රැඳි සිහින් කවි ද යන විට සුළඟට බිය වී
මගේ මනස කෙමෙන් දැවෙයි මතක දවා පැරණි සිතක

මගේ නිවස අඬයි බිය ව ඉකි බිඳමින් පැමිණිළි කොට
මනස මගේ දිව යන විට සොයා මතක පැරණි ලොවක

මා ද බිය ව අඳුර සමග ඉකි බිඳමින් අඬනා විට
අරගෙන යයි පැරණි මතක මගේ මතක දිවයින වෙත

අපේ මතක ඉතිරි වෙතියි කියා ලබන සැනසුම කිම?
එක් දිනයක මතක මඟ ද ඉගිලෙනු ඇත කාලය මෙන!

Friday, September 10, 2010

මතක මාවතට සාහිත්‍ය සම්මානයක්!

මතක මාවත කාව්‍ය සංග‍්‍රහයට 2009 පළ වූ කාව්‍ය සංග‍්‍රහ අතර හොඳ ම නිර්මාණය ලෙස ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලට තෝරා ගෙන තිබූ හේතුව නිසා, කවියකු සහ පැරණි මිතුරකු ඇතුළු කිහිප දෙනෙකු, කැඩුණු සිංහල සහ සිංග්ලිෂ්වලිවන් ලියූ කැලෑ පත්තර බඳු විචාර කියවා බලා මා ලැබූ අස්වාදය අනාගත කවි පොතකට ඇතුළත් කිරීමට තීරණය කර ගතිමි.