මිතුරන් නෑයින් ගිය පසු
ඔවුන් අඹා යන්නට බැරි
කුඩා කුරුල්ලකු විලසින්
ළතවෙමි හෙට දින මා යන
දුරු රට ඇති රට ගම වෙත
මකා සිතේ බිය හණිකට
හෙට නිසැකව යා යුතු ම ය
පර්ත් නුවර රට ගම වෙත
මගේ රටේ අහස් නැවෙන්
කැන්ගරු ඇඳි අහස් නැවෙන්
මළ විට මා අළු රඳවන
කරකතාව ඇති ගම වෙත
ඉර ද මැරෙන දවස හඬයි
ගොංමං කළුවර එන විට
සිතිවිලි මතකය දිව එයි
මිය ගිය සැමරුම් අරගෙන
සඳ ද ඇදෙයි අබල දුබල
වියළී ගිය රැස් ඇඳගෙන
මගේ මතක ගොනු කරන්න
පැරණි මතක කැටි අරගෙන
ඈත එපිට වෙල් යායේ
මතක රැඳී ඇත දුබලව
පන්දු ගැසූ හැටි පෙර දින
හඳ එන තුරු නිවාඩු දින
අම්බරුවන් නිඳනා තුරු
කමත පුරා දිවූ අයුරු
පිදුරු රැගෙන වෙල් යායක
සඳ ගෙන එයි සොඳුරු මතක
දුබල ව ගිය කිරණ සමඟ
ළමා මතක පිරේ සිතක
ගෙන යන්නට රට ගම වෙත
පර්ත් නුවර මා ගම වෙත
එකතු කරමි මතක පොකුරු
විසුරුණු මාලයක පබුළු
මතක සොයා මම ඇවිදිමි
ගොංමං යාමේ මගෙ රට
බඩවැටියේ ඇළ කණ්ඩියෙ
වතුර හමා යයි තෙල් සේ
නොමැත අවට තිත්ත පැටව්
ළමා වියේ මිතුරන් වූ
උන් ද ගොසිනි මා මෙන් අද
ගොදුරු සොයා මහ සයුරට
ඇළට ගැලූ දිය අරගෙන
සයුරට කඳුළක් අරගෙන
ලෝකයෙ මහ නගරවලට
අවසන මා රට ගම වෙත
සඳ පැතිරෙයි අඳුර වසා
සිත තුළ මතකය වඩමින්
බාල වියේ පාට රැගෙන
අහසේ තරු කැට අතරින්
සැමරුම් ගොනුවෙයි මා වට
කඩා ගනිමි මතක පොකුරු
දිදුලන තරු කැටි අතරින්
පාට කරන්නට අහස ද
හස නදියේ අහස් ගැබේ
ළමා මතක කැටි කොට අද
කඩාගන්න හෙට දිනයේ
ගම රට වෙත මා ගිය විට
Tuesday, March 23, 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment