Tuesday, March 30, 2010

52 - මරණයේ සේයාව

තිසර නදියෙ සිරි බලමින්
එළවමි මා මනරම් රිය
උදම් වෙමින් සතුටු සිතින්
බටහිර ගීයක් අසමින්.

මහ පාරේ සෙමෙන් ඇදෙන
තරුණ කාර් පෙළ අතරින්
මා වෙත දිව එන රථයකි
රියැදුරු සැහැසි ය,දරුණු ය.

නගරය පසු කොට සැණයෙන්
හිණි පෙළ නැග හනි හනිකට
කන්තෝරුව වෙත ඇදුනෙමි
බේරෙන්නට රකුසාගෙන්.

මා සිත බිය පහ කොට යළි
බේරෙන්නට රකුසාගෙන්
උසට රැකුණු මතු මහලේ
කන්තෝරුවෙ මම සැඟවෙමි

ජනේලයෙන් පිට සැඟවුණු ගංතෙර
දකිනට මා සිත ඇල්මක් ඇති වෙයි
ජනේලයෙන් පිට එල්ලී ඇත ඔහු
නැත බේරෙන්නට අද නම් ඔහුගෙන්.

ඇතුළට එන්නට වැර ගන්නා සඳ
සිත බය නැති වග ඔහු හට පෙන්වා
මම ගොස් සැඟවෙමි
වැසිකිළියක් තුළ.

සිරුරු කිස නිමා එළියට එන විට
දොර අයිනේ සිට මට ඉඟි දක්වයි
කළු දත් පෙන්වා සිනහ මුව සදයි
මුව මට හරවා දිගු දත් පෙන්වයි.

දහවල් යාමේ මිතුරන් කැල හා
දොඩමලූ වෙද්දී අහර බුදින සඳ
දිය රකුසකු සේ වෑංජනයකින්
ඔහු හිස ඔසවයි වියරු සිනා පා.

සවස් යාමයේ මනරම් රථයෙන්
යමි මම නිවෙසට විවේක ගන්නට
මා ගොස් වැතිරෙන ඇඳේ වැතිර ඇත
ඒ මිනිමරුවා කළු දත් විදහා.

ඔහු ගැන නොතකා මම ගොස් සැඟවෙමි
ලෝකයෙ තතු ගැන හඬමින් පවසන
රූපවාහිනී වැඩ සටහන් මැද
විවේක සුවයක් ලබන්ට මොහොතක.

මැදියම හෙමිහිට නැඟිටිමි
හද බිය නැති කොට සැනයෙන
කාමරයේ මා ගැවසෙන
ඔහු නැති වග මා හදට පවසමින්

කාමරයේ ඔහු නැති වග දැන ගෙන
ඇඳේ වැතිරිලා සළුවක් පෙරවමි
එළවා දමනට කාමරයේ ඇති
පිළි ගඳ සීතල, ගේ පිටි පස්සට

උඩ සිට ඔහු එයි
දත් විදහාගෙන
දෑත් විදා ඔහු
මා ගෙල මිරිකයි

සැඟවෙන්නට බෑ
රකුසාගෙන් තව
පලා යන්න නැත
සිතකුත් මා හද

No comments:

Post a Comment