Sunday, August 30, 2009

26 - නැගණියට ලියූ කවියක්

වසර ගණන් මතක රැඳුණු
මාවතකට ඇවිදිමි මම
මතකය නුඹ ඉපදුණු දින
කිරි සුවඳින් පිරි අප ගෙය

කිරි දත්වල පැහැය පසුව
රැඳේ මගේ මතකයෙ තව
නුඹ ගැන මතකය අද මට
දේදුන්නක පැහැසර විය

මැකෙනාමු’ත් ඒ පැහැසර
කිරි දත්වල පැහැය රැඳිණ
කල්ප අතර කිරි සයුරක
මතු වූ ගල් පරයක් ලෙස

බාල වියේ මට රිසි වූ
සිටිය එකම නැගණිය අද
ගැහැනිය වී මවක් ලෙසින
සලකයි මට නුහුරු රටක

බාල වියේ කුස්සියෙ හිඳ
කාපු බතේ රසය අඳින
කෑම පිරුණු මේසයක් ය
දුර සිට ආ සොහොයුරාට

මතක මඟක රැඳුණු සොඳුරු
කෑම පිරුණු මේසයක් ය
සිත පුරවන සිහිනයක් ය
බාල වියේ සිහිනයක් ය

මේසය වට හිඳමින් අප
වළඳින විට පුරුදු අහර
අම්මා දුන් බත් ගුළියක
සුවඳ දැනෙයි මගේ හදට

කටට රසට ලූනු මිරිසක්
නොමැති නුහුරු රටක වුව ද
නුඹ කොහොම ද හැදුවෙ නගේ
අම්මා ඉවු කෑම රසට?

කතා කරන්නට ඇති දේ
බොහෝ වෙතත් නිහඬ ය අප
සුවඳ බතක කෑම අහුරු
හෙමිහිට ගුළි වෙයි හදකට

වසර ගණන් මතක රැඳුණු
මාවතකට ඇවිදිමි මම
මා දුටු ඒ කිරි දත් පෙළ
කහ පාටට අඳුරුව ඇත

(ලොස් ඇන්ජලීස්, 2007 අප‍්‍රියෙල් 8)

Saturday, August 29, 2009

25 - පියාඹමි දස දෙස

රටින් රට සැරි සරන
ගුවන් ගැබ සරා යන
කුරුල්ලකු ලෙසින් මම
පියාඹමි රටින් රට
අතැර මා ජය බිම ද
සුතනඹුන් හා නිවෙස

මතක දිවයින ගැන ද
පඬිවරුන් ලියූ පොත්
ගැන ද බස් දොඩවමින්
ගුවන් ගැබ සරා යන
කුරුල්ලෙකි මෙදින මම

විසල් තුඟු මැඳුරුවල
දිවි රකින මිතුරු කැල
බලා නෙත් අයාගෙන
රටින් රට සැරි සරමි

දකුණු කුරු දූපතේ
කුරුළු නිවසක රැඳුණු
මට මහත් අරුමයකි
මිතුරු මිතුරියන් රැඳි
තුඟු විසල් මැඳුරු රැස

ගුවන් ගැබ සරන සඳ
ගිනි පෙට්ටි රැසක් බඳු
තුඟු විසල් මැඳුරු රැස
දකින සඳ නොයෙක් විට
නැගේ පැනයක් මසිත

කිම ද මා මිතුරු කැළ
වෙසෙන්නේ මැඳුරුවල
ගුවන් ගැබ සරා යන
කුරුල්ලන් නොවන්නෙද?
කිම ද නොදනිමි තවම

උදෑසන පිටත් වී
සවස් කල යළිත් එන
ගමන් මඟ ගොසින් ඇත
නොදත්තෙමි අරුත් රැස
විසූ දින මැඳුරු මැද

ජීවිතේ අරුත් රැස
සොයන්නට ලියනු මැන
කවි පෙළක් හද ඇඳෙන
සොයා දිවි අරුත් දැන
මකා දුක හද රැඳෙන

(ලොස් ඇන්ජලීස්, 2007 අප‍්‍රියෙල් 7)

24 - සමු නොගෙන ගිය ගමනක්

ඉර හඬමින් රතු නෙත් යුග
දල්වන සැටි බලා සිටිමි

ගුවන් නැව් ද තටු නොසොළා
යාම්-ඊම් කරනා සැටි බලා සිටිමි

සාගරයෙන් එතර රටට
යන හෝරාව ද එළඹිණ

නැත වදනක් තව ඔබගෙන්
සිටිමි මැරෙන හිරු බලමින්

දුර කතනය දිගු නින්දක
සමු ගන්නට අමතක වී

සිතක දුකක් කැටි වී ගිය
නෙත් අග රැඳි සීතල දැන

සති ගණනක් නොදකින ඔබ
ගැන මතකය දුක් කඳුලකි

මැරෙනා ඉරු හඬනා ලෙස
මා නෙත් රතු කැටයක් විය

ඉර මැරෙමින් යයි අහසේ
ගොංමං කළුවර තවරා

හැඬූ ඉර ද මතක පොතකි
මහ ද දුක ද ලියා සැණින්

ඉර බටු තරුවක් පිපිලා
ඔබේ නෙතක කැළුමක් ගෙන

සමුගෙන යන්නට නොහැකි ව
යන ගමනකි මතකය රැඳි


(පර්ත් නුවර ගුවන් තොටුපල, 2007 අප‍්‍රියෙල් 02)

Monday, August 24, 2009

23 - භාග්‍යයවත් බුද්ධිමතා

ෂක් ඩෙරීඩා ගැන ද
තවත් පඬිවරුන් ගැන
මා කියූ දේ ඇසූ
ඔහු කියූ බස් එදින
මවිතයක් වීය මට


මා සිතා සිටි විලස
ඔවුන් ඔබ රටේ ඇති
ත‍්‍රස්තයන් නොවන්නෙ ද?

අසයි ඔහු නොයෙක් පැන!

ෂක් ඩෙරීඩා ගැන ද
මයික් ෆූකෝ ගැන ද
කියා දුන්නෙමි ඔහුට
මගේ තුනි දැනුම මැන

මා කියූ බස් අසා
ඔහු වහා මවිත විය
ප‍්‍රති වදන් ලැබිණ මට
හදිසියේ ඇද හැලෙන
අසිනි වැස්සක් විලස

"ඔබ සිතන්නේ කිම ද?
තබා ඔබ දෙපා බිම
සිටිය යුතු වේ නිබඳ
සිතට ගනු මැන සබඳ

දර්ශනේ කිම අරුත?
පණ නොමැත සාහිත්‍ය පොත අතර
මේ රටේ වෙසෙන ඔබ
ඔස් වදන් දොඩන‘යුරු
ගැන සොයා බැලිය යුතු

පිහිට වනු ඇත ඔබට
කළමනාකරණය ද
කළ මැනවි උපාධිය
පිහිට වෙනු ඇත ඔබට”

මෑතක දි ලබා ගත්
නිල රියේ යතුර මට
හිස උඩින් පෙන්වු පසු
මම පයින් ඇවිද්දෙමි
දුම්රියෙන් ගෙදර යන්නට
හනික!

22 - සරසවි බැල්ම ගිලිහීම

(ඔසී රටේ හිඳ සිංහල කවි ලිවීමට ඔබට සරසවි බැලූම් ලැබේවා! -- ශ්‍රී ලංකාවේ වෙසෙන මිතුරකු එවූ පැතුමක්)

මහළුව යන හදවතකට
ඔබේ පැතුම මහ ඔසුවකි
එහෙත් හදේ සැකයක් ඇත
සරසවි වරමක් ලබන්ට!

එතෙර නුහුරු රටක සිටින
කවි ලියන්න විරිය දරන
බසක් නොමැති කවියකු හට
වේ ද ලැබෙන සරසවි නෙත?

ලැබුණත් මට වාසනාව
සරසවි බැල්මක් ලබන්න
නොලැබෙනු ඇත සරසවියට
ජය භූමිය වෙත එන්නට!

එන්නට මේ ජය බිම වෙත
වීසා ලබා ගත යුතු ම ය
තිබිය යුතු ය සුදුසුකම් ද
වීසා ලබා ගන්න ඇයට

ආවොත් ඇය පර්ත් ගමට
බෝට්ටුවක නැග හෙට දින
ශාන්තිකර දූපත් මැද
කඳවුරකට ගෙන යනු ඇත!

ඇය ව මුදා හරිනු පිණිස
කරන සටනෙ ජය නොදනිමි
එබැවින් මම ලියනෙමි කවි
අනෙක් ඔසී කවියන් ලෙස (1)

(1) මේ කවිය ලියූවේ ජෝන් හාවඞ් අගමැතිව සිටි සමයේ දී ය. නව ඔස්ටේ‍්‍රලියානු අගමැති කෙවින් රඞ් යටතේ පිහිට වූ කම්කරු ආංඩුවේ ප‍්‍රතිපත්ති අනුව සරණාගත පුද්ගලයන් ෆැසිෆික් සාගරයේ කඳවුරුවලට යෑම නැවැත්වීමට ප‍්‍රතිපත්ති සම්පාදනයක් සිදු වි ය.

21 - මතක රුව

(ඉඹුල්පේ හිටපු සිරිබෝහාමි හිතවතාට)

ගලගම ඉඹුල්පේ මතකය දුරකි රුව
සිරිබෝහාමි නුඹ මතකය මැකෙන රුව
ගම් රට පවා අහිමි ව ගිය පවට ලොව
නුඹ ගැන මතක සදමින් මම දකිමි රුව

සිදාදියෙන් ගම් දොර ආ කොළු ගැටයා
අද මිනිසෙකුව මහළුව මතකය සෙව්වා
ගොළු මුහුදෙන් එතෙර නුඹ ගැන හද තැව්වා
මතකය මළත් හිතවත මා හිස ඇඬුවා

සිදාදියෙන් ගලගම ගිය මා එදින
නිවසක් නැතුව නුඹ රට පය තැබූ දින
විසුමට තැනක් සොයනට මට දුන් වදන
තවමත් ඇසේ ගුත්තිලයේ කවි ලෙසින

කන්නත් නැතුව බැඳි යායේ රැඳි කලට
උන්නේ නුඹ තමයි මා තනි නොතනිය ට
දුන්නේ නුඹ තමයි රස කර බත් හදට
දරුවෙකු ලෙසිනි රැක්කේ නයි පොළොං රට

වලවේ ගඟට යන කෙටි මඟ මට කීවා
කිංචිගුණේ තොරතුරු ඉඳ හිට කීවා
අළුත් නුවර දේවලේ බල කීවා
සිදාදියෙන් ආ මට ගම ගැන කීවා

ළිඳේ වතුර බොර වූවත් නුඹ බීවා
ළිපේ බතින් ලොකු කොටසක් මට බෙදුවා
කඬේ තිබුණු හොඳ පුටුවත් මට පිදුවා
හිතේ තනිකමට පැල් කවි ගී කීවා

ගඟින් වතුර බී මූදට ආ වැඩූ මට
මතකය පමණි මැකෙනා රට රුව දුකට
මැකෙනා මිතුරු රුව සදමින් සදා තුට
දුන් සත්කාර සබඳනි අද රුවකි මට

නුඹ ඇති තැනක දුක් පීඩා නැති වේවා
වලවේ ග ෙඟ් රුව ඉල්ලම් මතු වේවා
නුඹ අත නොතිබු කහවනු රන් බිහි වේවා
මතු බවයක දි මට යළි නුඹ හමු වේවා

20 - ලඳු යාය පාසැලේ දරුවන්ට

(පරාක‍්‍රම කොඩිතුවක්කු කවියා සමග ටෙලිෆෝනයෙන් කළ සංවාදයකට පසු පහළ වූ සිතුවිල්ලකි)

ලඳු යාය ගලගම ද මා අතැර පැමිණි පසු
ඔබ ද එහි ගිය බව ද දැන ගතිමි තුටු සිතින
ඔබේ මතකය කිම ද ලඳු යාය සොඳුරු ගම
දඬුවමට යැවූ පසු දුර බැහැර ඒ ගමට

ඔබ සේ ම නොගිය‘මුත් ද දඬුවමට ඒ ගමට
තුරුණු විය මම දුටිමි දුක බැඳුණු සොඳුරු ගම
එන්සාල් පඳුරු මැද අහස් කුස අතර මැද
සොඳුරු ගම දුකෙන් රැඳි ගම් අතර

ඔබ සේ ම ගුරුතුමෙකු නොවූව ද
කියා දී ඇත මා ද පාසැලේ දරුවන්ට:

රැක ගන්න සෞඛ්‍යය
හොඳ වතුර ටික බොන්න
එන්නත් ද ලැබ ගන්න
ගැලවෙන්න කොළරාව!

කියන්නට එදා මා දත් නමුත්
ඇයි නැත්තෙ ගෙයි වතුර
බැරි ඇයි ද රැක ගන්න සෞඛ්‍යය

කියන්නට නොහැකි විය පාසැලේ දරුවන්ට
දුගී බව රැඳෙන්නට හේතු වූ කාරණය
එන්සාල් පඳුරු මැද
දුකෙන් පිරි ගම් අතර
රැඳුණු ඒ සොඳුරු ගම
ආලෝක මිනිස් මැද

රාජකාරියට මා එදින කඳු නැග්ග
පාසැලේ දරුවන්ට
අකුරු ඔබ කියා දුන් වග අසා
සිතින් මම තුටු වීමි

මා මතක එගම ගැන
අහස් කුස මැද රැඳුණු
එන්සාල් වතු නොවේ
ගලගමට ගලා ගිය
දිය ඇලේ වතුර නොව

පාසැලේ දරුවන්ට
දුගී බව රැඳෙන්නට හේතු වූ කාරණා
කියන්නටනොහැකි වූ දුක පමණි!

නිම නොවූ තවත් එක මෙහෙවරක්
එළි නැති වු කවියකින් මෙසේ මම බැඳ තබමි
ආලෝක නො ලද මිනිසකු නිසා!

එදා වගේ අදත් ඔවුන් ...

"මහ වැස්සට තෙමෙනවාද
කුනාටුවට අසුවුනාද
දොල තරණය කරනවාද
ඉරේ සිනා දකිනවා ද
පාර දිගේ දුවනවාද
ජය කනුවක් දකිනවා ද” (1)


(1) මේ ඡ්දය පරාක‍්‍රම කොඩිතුවක්කු කවියා ගේ අකීකරු පුත‍්‍රයකගේ ලෝකය නම් කාව්‍ය සංග‍්‍රහවෙන් උපුටා ගතිමි.

Monday, August 17, 2009

19 - සඳ මිදුණු රැයක්

සඳ වෙරි වී පුර ගැබ මැද
අඩ සඳ ඇත අද මිදිලා
සඳ බිඳලයි නිසංසල ය
රැයක උරුම කියා ලොවට

අවට අගල් පොරවාගෙන
ගණ තණ පත් ගොස් උරණ ව
නිහඬ බවේ යඥ දෙන
මැඩි හඬ කන් පුරවන සඳ

රැ මැදියම නැත නින්දක
නිහඬව ඇත වැතිරී ලොව
නගරය මැද මුල් ඇද ගත්
පැරණි හෝටලෙන් ගලනා

පා වී එන දුක් රාවය
නැවතී ඇත හදිසියේ ම
පුරාණ වූ තරු කැල අද
ගොළු කොට ඇත උන් පැහැසර

කළු වී ගිය අහස් ගැබක
සුළං රැළි ද විවේක ගෙන
සැඟ වී ඇත කඳු අතරේ
ගල් ලෙන් තුළ

නැවුම් තැන්නෙ තනිව
රැඳුණුපොප්ලර් ගස අද උරණ ව
දෑත් යොමා කළු අහසට
විරිය ගනියි මිදුණු සඳත් මුදා ගන්න [1]


[1] ස්පාඤ්ඤ ජාතික ෆෙඩරිකෝ ගාසියා ලෝර්කාගේ කවියක අනුවර්තනයකි.

18 - කවි ඔසු බල

රැවුම් ගෙරුම් ඇණවිලි හඬ
එයි දස අත ගෙයි මෙදිනේ
මා වට මහ පවුරු සැදෙයි
යදම් විලස සිරවෙන්නේ

නිම නැති කව් පද හැම අද
අසරණ වී වැලපෙන්නේ
යදම් බැඳුම් ගලවා මා
කවි අතරෙහි සැඟවෙන්නේ

සක්වල ඉම සොයා යන්න
මගක් සොයා ඇවිදින විට
ඇසෙයි යළිත් රැවුම් ගෙරුම්
පුරවා වා ගැබ සැනයෙන

"බැරිය ලියා කවි කිසි දින
මිනිසෙකු සේ ලොව වෙසෙන්න
ඔබ උමතුව ගොස් ඇති බව
දැන ගත්තෙමි අද නිසැකව

විසඳන පැන වෙද මේ ලොව
කවියකු අත ඇති පෑනෙන්
ගෙදර අවුල් වී ඇත අද
කවි කොලමය ගේ හැම තැන

නැත ෆිජ් එකෙ කිරි කඳුලක්
කළ යුතු වැඩ ඇත අපමණ
ලොකු දුවගේ මංගල්ලෙට
කළ යුතු වැඩ සිදු වී නැත”

ඇනවිලි හඬ පාවේ ලොව
යුග කෙළවර සැඩ නළ ලෙස
විසඳිය යුතු පැන ඇත මට
ඔබ ඒ ගැන කිව යුතු නැත

මම කවියෙකි මේ දුරු රටදු
ක නරඹන හැම ලෝ සත
වෙදකම් මට කළ නොහැකි ය
කවි පද වෙයි මා ඔසු බල!

Sunday, August 16, 2009

17 - ඉන්දුනීසියානු කවියෙකුට (සපාර්ඩි ද්කෝ දොමෝනෝ මහා කවියාට)

ඔබ ගොතන සොඳුරු පද
නොදැන සිටියෙමි සබඳ
මගේ රට ගම වෙතට
පැමිණි තුරු මෙදින ඔබ

නිබඳ මා වෙසෙන‘මුත්
ලෝකයේ කවි අතර
කිම ද ඔබ මැවූ කවි
නොදැන සිටියේ මෙතෙක්?

ඔබ ලියූ සොඳුරු කවි
නොදැන මා මෙදාතුරු
අන්ධයෙකු ලෙස කිම ද
විසූයේ දකුණු කුරු දිවයිනේ?

වසර ගණනකට පසු
ඔබ ලියන කවි පෙලක
රිද්මය ද අසන්නට ලැබිණ මට
ඔබ කියූ කවි තුළින්

කවි ලියා අප වෙසෙන බිම් අතර
පාලමක් බඳින්නට හැකි බව ද
කියයි ඔබ සදා සතුටක් මසිත

අප ලියන කවි අතර
සදන රූපක අතර
මිනිස්කම රැඳෙන බව
කියයි ඔබ සදා සතුටක් මසිත

අසයි ඔබ මා වෙසෙන ජය බිමේ
සුදුම සුදු කවි ගැන ද
හෙමි හෙමින් පිපී එන
කළු පාට කවි ගැන ද

රැඳේ හද තුටු වළලු
මොහොතකට හෝ මෙදින
ඔබ අසන පැන අතර
සදා සතුටක් මසිත

16 - මිතුරු වූ මෙල්බන් නුවර සහ මතක දිවයින

සුදු මුහුණු කහ මුහුණු
මැද රැඳුණු ට‍්‍රෑම් බස්
මගේ ගම නොවන බව
කියයි මට උදේ සිට

සීතලෙන් මිදෙන මඟ ට‍්‍රෑම් බස් උණුසුම් ය
සතුරු වූ නගරයක පාර මට අද හුරු ය
කරුණු මට කියා දෙන සතුරු වූ නගරයක
මහ වීදි දිගේ යන ට‍්‍රෑම් බස් මිතුරන් ය

කතා බස් කොට ඇතත් අදට පෙර දුර සිට ද
මිතුරුකම් අවදි විය කෝපි උණුසුම් රසට
මිතුරු විය මේ නුවර ට‍්‍රෑම් බස් ලෙසින් අද
කරුණු මට කියා දෙන සතුරු වූ නගරයක

සීතලට නිහඬ වන මේ නුවර බියකරු ය
සිතුණු දින අපමණ ය අද ට පෙර මට නිතර
මීට පෙර මෙහි වසන රුචි නො වී කිසි ම දින
ආ නමුත් නොයෙක් වර වසන්නට සුදු බියට

මැකී යන අපේ රට මතක ගැන,
කතා කළ උණුසුමට නිදා සිටි මිතුරුකම්
අවදි විය කෝපි උණුසුම් සමග
කතා කෙරුවෙමු දිගට මැකී යන මතක ගැන
මහළු වන, බෙදී ගිය රටේ ජන කොටස් ගැන
හැකි වේ ද විසඳන්න විවිධ පැන දුරක සිට
ගොළු මුහුද මැද රැඳුණු අපේ රට දිළිඳුකම

නොදෙඩු බස් අපමණ ය
මැකුණු සීතල ලෙසින
මකා සීතල පවුරු
නගියි උණුසුම් වළළු

සොඳුරු වුව මේ නුවර
කෝපි උණුසුම් සමග
ගොළු මුහුද මැද රැඳුණු
අපේ රට දිළිඳුකම
හැකි වේ ද විසඳන්න
විවිධ පැන දුරක සිට
මිතුරු වූ සතුරු නගරයක
එතෙර හිඳ නුහුරු රට

(2007)

15 - වියරු වූ ගොළු මුහුද

ගොළු මුහුද අවදි වී
බිඳ දමා මුනි වත ද
ගරිල්ලා සෙබළෙකුව
රැගෙන අවි දළ රළ ද
පහර දෙයි ගම් දනව්
රූපවාහිනී නෙත් මත

මතකයක් ගෙනෙයි දුක
මතක දිවයින ගැන ද
නෑ මිතුරු සියල්ල ම
ගැන කිසිම පුවත් නැත

මතක දිවයිනට ගිය
බිරිය ගැන නැත පුවත්
දෝණියන් දෑ හඬයි
මවක් ගැන දවා සිත

ගරිල්ලා සෙබළෙකුව
රැගෙන අවි දළ රළ ද
පහර දෙයි ගම් දනව්
රූපවාහිනිය මත

මතකයක් නොවේ මෙය
හද දවන දුකක් මිස
අසරණින් අසරණ ව
සිටිය දින මා මෙතර


(2004 දෙසැම්බර් 26 දින)

Saturday, August 15, 2009

14 - අඳුර බිය සහ රෝගියා

නිදි නැති රැය කඳුළු සලයි
වැටෙනා පිනි කැට මෙන් ලොව
අන්දමන්ද වූ මිනිසෙකු
දුක් වෙයි සිත තවා කැවෙන

ඔරලෝසුවෙ කටු මොර දෙයි
අරුණලූ නැති ලකුණු කියන
මහ රැ යම හූ මිටි දෙයි
රකුසු බකුසු හඬ අරගෙන

සිතුවිල්ලක් පාවී එයි
කුඩා වියේ බියක් රැගෙන
හඬා කියූ දුක් ළතැවිලි
ඇසූ මව ද නිදයි සොහොන

වවුලකු තටු සළන හඬක්
ඇසේ ජනේලයෙන් එපිට
කළුවර කැටි පසු කර යයි
වියලි කඳුලූ නෙත රඳවන

උණ ද වියරු වී සොලවයි
බිය වූ ගත සහ හදවත
ඉඟුරු කොත්තමල්ලි රස ද
සිහිනෙන් ලද ඔසුවක් විය

හිතේ දුකට කියූ කවි ද
ගඟකට වැටි ඉනි පෙළ විය
අරුණලූ එනතුරු තනියම
සිටිය යුතුය කීකරු ලෙස

13 - ගමේ ගිය බිය බිරිඳට

නුඹ ගම් ගොසින් තිස් දවසක් පිරුණා ය
පෙර පිරි හඳත් අහසේ අද තනිවම ය
ළමා කටහඬක් නැති ගේ දුක්බර ය
තුන් වේලේ කෑමත් දැන් අමතක ය

කිරිබත් සොයා එන කපුටන් අපමණ ය
බඩගිනි ගතින් උන් යන්නේ දුකින්ම ය
ළිපේ වලංවල දං කුඩ හඬාම ය
තේ බොන්නේ තනියම හිත හදාම ය

රැයේ කළුවර ය තනිකම සිටින්නී
හිතේ දුක ය ඇස් කඳුළු ද රඳන්නී
ශ‍්‍රියා වාස නැත මූසල හඬන්නී
කවි සීපද මවා හිත දුක තවන්නී

12 - සිනහ මැරුණු නිවසක්

සිනහ මැරුණු අප නිවෙසේ
අඳුරු කැටිති වවුළු රැළකි

සදා හරිත සිනා එළිය
වින්ටරයකි දිවි පුරවන

අප නිවසේ එළිය මරණ
සිහිතල තනිකම සතුරෙකි

රකුසු උවන් රැඳි මුහුණත්
නිවා දමයි හිරු එළිය ද

ගෙයි ගැවසෙන රකුසු නියමු
සිය පවුල ද රකියි වියරු

11 - මතක බිය

සිත බිය සදා ගෙට කළුවර එන බැවිනී
කුකබරු හඬයි අප මිදුලේ පරවේණී
මා යන ගමන අඟවයි ඒ උළලේණී
ඒ හඬ බිය සදයි සිත කළුවර බැවිනී

සිහිතල නැගෙයි සදවා මිහිතල වියරූ
දරු දුක දැනෙයි දනවා හද දුක ගැඹුරූ
කළුවර නැගෙයි සදවා මා සිත වියරූ
කවි සිත මැරෙයි සදවා මා දිවි අඳුරූ

සුදු කහවණු සොයා මෙහි ආ පවට පෙර
කටරොළු මල් පවා සුදු විය නැත තමර
සුදු තිසරුන් ද කළු විය නැත උන් අමර
ගොළු මුහුද ද බිඳී මුනිවත විය අවර

10 - නිව් නෝසියාවේ ගෙවූ රැයක්

ගලින් සැදූ පල්ලි සොඳුරු නින්ද නැතිව ලොව විමසයි
සීතල සළු වියැකී ගොස් අහස සොඳුරු කවියක් වෙයි
කාලය භාවනා කරයි නිහැඬියාව පියඹා එයි
ලොව බැති පිරි යතිවරයෙකි සාමය මා හද පැතිරෙයි

පර්ත් නුවර දුහුවිලි නැති මේ නගරය ගමක් වැනි ය1
නාඳුනනා මිනිසුන් වුව මිතුරන් වෙයි මහ අරුමය
කරුණා ගුණ පිරි යතිවරු වැනි පූජක රැඳි නුවර ය
සිත නිකසල වෙයි නිරතුරු හදවත තැවරෙයි සාමය

ගොළු මුහුදෙන් එතෙර රැඳුණු මා වෙසෙනා නිවස දුරය
එහෙත් තවත් නිවසක් වෙයි පල්ලි අසල කුඩා කුටිය
දුක දැවටී හඬනා සිත සමනය වන ලකුණු ඇතිය

මුනිවරයෙකු ලෙස මා සිත පළිඟු මිණක් වෙයි අරුමය
රටක් නොමැති මිනිසකු හට ගමක් සදයි මේ නගරය
නැති වූ සම්පත් හදමින් මන පිනවයි මේ නගරය
තනි වූ සිත තවා නිබඳ නැති වූ බස් සැදු නගරය
සදා යළිත් මිය ගිය කවි මතු කරවයි කුළුණු ගුණ ය



(1) නිව් නෝසියාව - පර්ත් නුවරින් කිලෝ මීටර 132 උතුරෙන් පිහිටා ඇති නිව් නෝසියාව, 1846 දී ස්පාඤ්ඤයේ සිට පැමිණි බෙනඩික්ටීන් නිකායට අයත් පූජකවරුන් දෙදෙනකු විසින් ආරම්භ කළ කුඩා පූජා නගරයකි. එහි දැනට පදිංචි පූජකවරුන් වරුන් අරඹා ඇති අධ්‍යාපන නිකේතනය හා අදාළ කටයුතු නිසා දැන් නිව් නෝසියාව සංචාරක නගරයක් ලෙස ද ප‍්‍රසිද්ධ ය.

9 - ගිම්හානයේ පර්ත් නුවර

ගිම්හාන රළු දවස් ඉපිද ඇත
කරුමයක් සේ පැරණි
මා පෙළන රළු දවස්
නොවේ කීකරු වන්නෙ
සිහිල් පංකාවකින්

දැවෙන විට මුළු ලොවම
වායු සමනය පවා
කතර වට වැස්සක් ය
මුළු ලොවම දැවෙන කල
සැඟව ඉන්නට පවා
සොඳුරු පියසක් ද නැත

සැඟව ඉන්නට පවා නැත
නැත සරණ මා අවට
දැවෙන විට මුළු ලොවම
සිත දුවයි ගම ළිඳට
කුඹුක් ගහ යට රැඳුණු

නාන ළිඳ සිසිල් දිය
ගෙනෙන්නට තැත් කරමි
සිසිල් දිය මට උරුම
එතෙර කොට ගොළු මුහුද

8 - වසන්තය සහ චිටරින් නිම්නය

වසන්තය පැමිණ ඇත
සුපිපි තුරු ලතා පිපි
සොඳුරු නිම්නයකි මෙය
මගේ ගම අසල රැඳි

සොඳුරු පින්තූර ලෙස
මතක දිවයින රැඳුණු
මිතුරන්ට යවන්නට
සොඳුරු නිම්නයකි මෙය

නැගෙයි පැනයක් මසිත
මා දකින පෙදෙස ගැන:
සොරා ගත් බිමක් නොව
ආදි වාසින්ට හිමි!

ඈත කඳු වැටියක් ය
රැඳුණු වන මල් සොඳුරු
අපි සොයමු මග දෙපස පිපී ඇති
සුදුම සුදු මං ලකුණු

සුපිපි තුරු ලතා පිපි
සොඳුරු නිම්නයකි මෙය
වසන්තේ නෙත ගැටෙන
මගේ ගම අසල රැඳි

Friday, August 14, 2009

7 වසන්තය පිපෙයි

වින්ටරය ගලා යයි
ස්පි‍්‍රං ඇවිත් මල් මවයි
හිරු එළිය ඔමරි පා
ම වෙත විදහයි දසුන

පොළෝ තල අවදි වෙයි
හිරු එළිය පිපෙන විට
තුරුණු විය සිහි කරන
මල් පිපේ මග දෙපස

ස්පි‍්‍රං මල් ද අවදි වී
මේ පෙදෙස වසන කල
මම සොයමි මට හුරු වු
මල් සුවඳ ළඟක නැති

උදේ රැය රහසින් ම
ගොළු මුහුද කැටුව එන
මට හුරු වු මල් සුවඳ
අතර මැද මම දකිමි

වසන්තේ මල් කැකුළු
මගේ ගම වට මැවෙන
සදා මළ මතක රැස
රඳා මා සිත නිබඳ

5 - පර්ත් නුවර ඍතු හතරක්

වසන්තය

හිරු තරුණ සෙබලෙක් ය
මිදුණු දින ගලා යයි
මැකුණු ලෙස තුරුණු විය
මල් පොකුරු ඔමරි පා
සුවඳ දෙයි සිනා සී

ලකුණු නැත මල් සුවඳ
වෙනස් වන බව මෙවර
ලොව ද ගැබ්බරය අද
ඇතැම් මල් සුවඳ දෙයි
තවත් මල් නිහඬ වෙයි

මහළු වූ ඔබේ පෙම
නිහඬ වූ ගීයක් ය
එහෙත් තව මල් පිපේ
ලොව විරල ගීයක් ය

ගිම්හානය
ලොව හඬයි ගිනි වැදී
පුපුරවා නිම් වළලූ
සොයන්නට මතක මග
නුහුරු මාවතක

එළඹ ඇත උණුසුම ද
උරණ වී ලොව සමඟ
සොයන්නට මැරුණු පෙම
නගා දහ දිය ලොවට

වැසී ඇත ලොව මෙදින
ගිම්හාන උණුසුමෙන්
කරුමයක් ලෙස සසර

සරත් සමය

අප යනෙන මාවත් ද වැසී ඇත
බිම වැටුණු පත්වලින්
ඇදී යයි මාවතේ
වැටුණු තුරු පත් රැස ද

අපේ ජීවිත ලෙසින හඬාගෙන
මැරුණු සෙනෙහසක් ලෙස
දළු ලා ද කොළ රහිත
රුක් ලතා මතු දිනක

වින්ටරය

වින්ටරය පා තබයි
පැරණි සතුරෙකු විලස
මගේ ගම වට බැඳෙයි
රළු සීත කඳු වළළු

ඇදී එන තුනි වැස්ස
අසනි වැසි ලෙස වැටේ
සදා ලොව රැළි සීත

අඳුරු සීතල සුළඟ
හිර කරයි පෙනහළු ද
ඔක්සිජන් නළ නැතුව
මැරෙන රෝගියෙකි මෙලොව

අඳුරු ගොංමං දවස් පාව එයි
වින්ටරය බදාගෙන
කෙළවරක් නැත මෙදින

4 - සුදු වෙස් මුහුණ

රජ උයනෙ ගසක් යට
ඔහු ලියයි කවි සොඳින
නුහුරු බසකින් නිබඳ
යවන්නට එතෙර සඟරාවකට
ලබන්නට කිතු ගොස් ද
නොලද ඔහු නිජ බිමෙන්

රජ උයනෙ ගසක් යට
ඔහු ලියයි කවි සොඳින
නුහුරු බසකින් නිබඳ
වල දමයි මව් බසක්
විසි කරයි උරුමයක්
දෙදහසක් වසරක කවියක රිද්මය

මරා දැමුව ද උරුම වූ බස
ඇසෙයි හද බස නිදා ගත් සඳ
රැගෙන විසිතුරු සොඳුරු උපමා
උරුමයක් තුළ රිද්ම කැඳවා
සුවාසූ දහ විරිත් රඳවා
සිහිනයක් තුළ මතක රඳවා

3 - මතක මාවත

තිසර නදිය හූ මිටි දෙයි
වින්ටරයත් නිදා ගනියි
තනිකම දිව එයි හනිකට
ගඟ මැද තනි රැළ විලසට

රැ යාමෙට පෑයූ සඳ
ගං දිය මැද මැරුණු දිනක
මම හොරෙන් ම ගියෙමි එතර
පැදුරටවත් බසක් නොදොඩ
පැරණි හීන ඇහිඳ ගන්න

මගෙ මතක දිවයින වෙත
මා දත් ලෝකය පිපිලා
කැන්ගරු පෝ මල් වාගේ
කැන්ගරුවන් සැඟවී යයි
බඩ වැටියේ පඳුරු අතර

මිතුරන් දිව එයි සතුටින්
පන්දු ගසන්නට පෙර ලෙස
වත්ත පහළ ගස් මුදුනේ
කජු පුහුලන් පිපී තිබේ
නගිමි වහා ගස් මුදුනට
රතු පුහුලන් කඩා ගන්න

කොරවක්කෝ නිදා වැටෙති
බෝවිටියා පඳුරු අතර
පොකුණේ පිපි මානෙල් මල්
කෝළ වතින් ම දෙස බලයි

නවයුගයේ පළ වී ඇත
මගේ ළමා කවියක් අද
මඩොල් දුවෙ ජින්නාගෙන්
ලිපියක් ඇත මේසය උඩ
අම්මා ගේ බත් පරිප්පු
මේසය මත සුවඳ රැළිය
තාත්ත අද ගෙදර ඇවිත්
වේලපහින් නින්දට ගොස්

කජු පුහුලන් ගෙඩි සඟවා
ඇඳ පාමුල පෙට්ටගමේ
හනිකට දුව ගොස් මේසෙට
බත් කන්නට සැරසෙන විට
ටාසන් දිව එයි හනිකට
වල් බල්ලෙකු තබා පිටත

පොත් මිටියත් ගෙන හනිකට
අක්කා යයි කාමරයට
මල්ලී කිරි දත් පාමින්
ටිකිරි සිනා නගයි මවෙත
සොයුරු හදක සෙනෙහ රඳා
ගනිමි ඔහු ද මගේ අතට

මුළු ලෝකය සතුටු සිතින්
මා වට කොට උදම් අනයි
මහඟු රුවන් පුත් රුවනක්
කියා උතුම් බස් පවසයි

දුගී මගී යාචක දන එළවා ඇත මගේ රටින්
සාමය රජ වී ඇත රට සොරකම් මැරකම් වියැකී
උතුරේ දන දකුණට විත් දකුණේ දන උතුරට ගොස්
දෙමළ අයෙක් යති කැළණිය මම යමි ඔහු කෝවිල වෙත

ලෝකය අද තනි යායකි
රජ වෙන්නට හැකිය මට ද
කිරුළු පැළඳ මගේ ලොවේ
රජ වෙන්නට සදනා කළ

වැටුනෙමි පැදුරෙන් බිමටත්
මුහුද එතර නුහුරු රටක!
වින්ටරය ද නින්දට ගොස්
තිසර නදිය හූ මිටි දෙයි

වින්ටර සීතල අවදිව
වියරු සිනා පාමින් මට
උදුරා අත කජු පුහුලන්
දිව යයි හනිකට අඳුරට

2 - ෆී‍්‍රමැන්ටල් වෙරළේ දී

දැවෙන බටහිර අහසෙ මැකෙන දේදුන්න දැක
මහළු වී මැරෙන හිරු ගොළු මුහුදෙ ගිලී යයි
දැවෙන බටහිර අහසෙ පැරණි නිම් වලල්ලක්
සිප ගනී මැකී යන අඳුරු වූ දේදුන්න

මුහුදු රැළි රැගෙන එයි පැරණි මතක ද සිතක
වෙරළ ඉම මත වැටී මැකෙන සුදු පෙණ අතර

මුහුදු රැළි රැගෙන එන සුදු පැහැති පෙණ කැටිති
වෙරළ ඉවුරත අඳියි මැකී ගිය පෙම් පුවත

පැරණි සෙනෙහස ගෙනෙන මුහුද උරණ ව බලයි
මතකයේ මැකී යනඅමුත්තකු ලෙස මදෙස

ගොළු මුහුදෙ සිහින් හඬ සෙමින් පවසයි රහස
ඈත සිට හමා එන මැකුණු දරු නැලවිල්ල ගැන

නැත ලියන්නට හසුන් කවි පොතක පිටු අතර
නැත ලියන්නට හදක් මැරුණු පෙම් පොකුරු ගැන
නැත ලියන්නට සිතක් මැරුණු සෙනෙහසක් ගැන
කාලයේ මාවතේ මැකී ගිය පුවත් මැද

1 - නිම නො වූ කවියක්

මැකෙන මතක හැම අපමණ තැවුලිය
නොකළ මෙහෙවර ද නෙත් අග කඳුළු ය
බිඳුණු මතක ඇති ගමනක උරුමය
ඉදිරි ගමන් පෙත නෙක මෙහෙවරකි ය

ඇසුණු ළමා හඬ මතක හඬක් වී
සිත සැනසූ බස් මතක මඟක් වෙත
පැරණි මතක වැල් රැගෙන පියාපත්
පළා ගොසින් ඇත ඈත සිතිජයට

කාලයෙ බියපත් වියරු සුළං රැළි
මා වට ගැවසෙයි කුනාටුවක් ලෙස
සීනු හඬක් පැතිරෙත මා දස අත
නිම කළ යුතු හැම මෙහෙවර කියමින

උපුල්මලීට

නොදෙඩූ බසකි මහ තනිකම හද සසල
තනිකම හැඬූ විට ගොළු කොට හද ගඟුල
පෙර දින ලියූ මුත් පෙම් කවි සිත වපුල
නොලියූ කවිය නෙත් අග රැඳි දුක් කඳුල

මතක මාවත කාව්‍ය සංග‍්‍රහය ගැන සටහනක්

කවියකු හෝ ලේඛකයකු සිය නිර්මාණ කාර්යය හමාර කොට ඒවා පාඨකයන්ට ඉදිරිපත් කළ පසු, යළි තමා ලියූ දේ ගැන ලිවීම නොකළ යුත්තක් බව මම දනිමි. මේ සටහන මා ලියා හමාර කළ කවි පිළිබඳ ව නොව, ඒ කවිවලින් බොහොමයකට පසුතලය වූ මතකය පිළිබඳව මගේ අදහස් කිහිපයක් සටහන් කරන්නට ගන්නා වෑයමක් පමණි.

ඡයාරූප ශිල්පයකු ආලෝකය සිය මාධ්‍යය කොට තමා වටා ඇති ලෝකය ප‍්‍රතිනිර්මාණය කරයි. එහෙත් කවියෙකුට භාවිතා කළ හැක්කේ තමා සොයා ගන්නා වචන ඇසුරෙන් ඔහු හෝ ඇය දකින නැති නම් අවලෝකනය කරන ලොව පාඨකයන්ට ඉදිරිපත් කිරීම යි. ජීවිතයේ සැඳෑ සමයට එළඹ ඇති මා, මේ කාර්යයේ නියැළෙන විට මා දකින්නේ පසු ගිය කාලය පුරා මා ඉතා වේගයෙන් පසු කර ආ ගමන් මඟක රැඳි මැකී යන මං සළකුණු ලෙස ය. ඒ මග සලකුණු ඉතා වේගයෙන් මතකයෙන් ගිලිහෙමින් පවතී.

මගේ මතකය සේ ම, මා දන්නා හඳුනන මිතුරු මිතුරියන් ද නොකියා ම සමු ගන්නා විට මේ මතක ගමන ආවර්ජනය කිරීමේ වැදගත්කම වඩාත් ම පසක් වෙයි. එසේ ම ඉතිරි වී ඇති සැඳෑ සමයේ මතකයන් ලියා තැබීම ද මතක මාවත සොයා යන්නා සේ ම වැදගත් වෙතියි මට සිතේ. මේ කාර්යයේ වැදගත් මට පළමුවෙන් ම අවබෝධ වූයේ මතකයත් සමරණයත් තේමාව කරගත් විමල් දිසානායක කවියා ගේ නාගල කන්ද කාව්‍ය සංග‍්‍රහය කිය වූ පසු ය. දෙවැන්න මෑතක දී මිය ගිය හිතවත් පද්මාල් ද සිල්වා මිතුරා සමග නිම නො වූ මතකය පිළිබඳ ව කළ සංවාදයකි.

මා වටා රැඳී පවතින ලෝකය මෙන් ම, මගේ මතක මාවතේ ඇඳී තිබෙන බොහෝ දේ ද වියකෙන බව මට අවබෝධ වුයේ බොහෝ කලකට පෙර දී ය.

ජීවිතයේ අභියෝග නොපිළිගන්නා තුරුණු වියේ දී මෙන් නොව මැදියම් විය බොහෝ විට රැගෙන එන්නේ ජීවිතය පිළිබඳ කම්පිත පණිවිඩයන් ය. ජීවිතය යනු මනා සේ සකස් කළ සැලසුමකට අනුව කි‍්‍රයාත්මක කළ හැකි ව්‍යාපෘතියක් නොව, කිසිවෙකුට සිය සිතැඟි අනුව පාලනය කළ නොහැකි කි‍්‍රයාවලි රාශියකින් සමන්විත ප‍්‍රවාහයකි. තුරුණු වියේ දී අප පැතූ පැතුම් ඉටු නොවන බවත්, ජීවිතය කිසි ම රටාවකට අනුව සකස් කර ගත හැකි සිත්තමක් නොවන බවත් සාක්ෂාත් කර ගන්නා විට බියක් මෙන් ම කම්පනයක් ද ගොඩ නැගෙන්නට පටන් ගනී. කොතරම් හෝ පෝෂ්‍යදායක ආහාර අනුභය කොට මනා සෞඛ්‍යයෙන් ජීවත් වුව ද රෝග ව්‍යාධීන් මෙන් ම මහළු වියත්, අවසානයේ දී දවස නිමා වී ඉර බසින්නාසේ, මරණය එළඹෙන බව අවබෝධ වන විට පෘථග්ජන අප එබඳු යථාර්ථයන්ට විවිධාකරයෙන් ප‍්‍රතිචාර දක්වන්නට පටන් ගනී.

ජීවිතය මට ඉදිරිපත් කර ඇති යථාර්ථයන්ට මා පළමුවෙන් ප‍්‍රතිචාර දක්වන්නට පටන් ගත්තේ මා මෙතෙක් ගෙවා ඇති කාලය මෙන් ම කළ නොහැකි වූ ඉමහත් වූ මෙහෙවර ගැන ද අවලෝකනය කොට ඉතිරි වී ඇති කාලයට අනුව නව ජීවිත ව්‍යාපෘතියක් සකස් කිරීමට උත්සාහ කිරීම ය. එය ද නිෂ්ඵල ව්‍යායාමයක් බව ද අවබෝධ වූ පසු යම් තරමින් හෝ කාලයක් ඉතිරි වී ඇත්නම් ගෙවෙමින් යන කාලයට සාප කරනු වෙනුවට ජීවිතය පිළිබඳව ආවර්ජනය කිරීම මැනවයි මට සිතිණ.

මගේ ජීවිත මතක මාවතට පිවිසීමට මා දැරූ වෑයම, මගේ ජීවිතාවර්ජනය කි‍්‍රයාවලිවලියේ කොටසක අතුරු පලයක් ලෙස මම දකිමි. ඇතැම් ලේඛකයෝ සිය ජීවිත කථාව ලියා තබමින් මේ කාර්යට එළඹෙති.

මා දන්නා ඇතමෙක් බාල වියේ දී තමාට හිමි නො වූ කෙළි බඩුවලට ආදේශ කරමින් මහා වියදමක් දරා අලංකාර රථ වාහන මිළ දී ගනිති. ඇතම් අයෙකූ තමන් සේ ම මහළු වියට පත් වූ තම අඹුව සරණයෙන් ඉවත් කොට, තිඹිරි තන සහිත යුවතියක සමග ඉතා සතුටින් දිවි ගෙවන්නට සිතා යළිත් නව දිවියක් පටන් ගනී.

ඉතා දුක් මහන්සි වී, උගත් දරු මල්ලන් තැනූ මගේ පැරණි මිතුරකු මතු දිනයක දී මොංගෝලියාවට ගොස් විශ‍්‍රාම ගන්නා බව මට ලංකාවේ සිය ලියා දැන් වූයේ ය. එහෙත් ඊට බලපාන ප‍්‍රධාන ගැටළුව අවශ්‍ය විදේශ විනිමය බව සඳහන් කිරීමට ද ඔහු අමතක නොකළේ ය. තිසර නදියෙන් ආරම්භ කොට ලංකාවේ නගරයකට කුකබරුවකු ගෙන යන සංදේශයක් ලිවීම සිය ජීවිතයේ පරමාදර්ශයක් බව වසර විස්සකට පෙර මට පැවසූ, සාහිත්‍යය පිළිබඳ ව ඉතා දුර්ලභ කුසලතා ඇති මගේ තවත් හොඳ මිතුරකු මේ වනතුරු එකම අකුරක් හෝ ලියා පළ කොට නැත.

මා මේ උදාහරණ ගෙන හැර දක්වන්නේ විවිධ පුද්ගලයන් විවිධාකාරයෙන් සිය ජීවිත ගත කළ යුතු අන්දම ගැන සිතනාකාරයත් ඊට ප‍්‍රතිචාර දක්වන ආකාරයත් අවධාරණය කරනු පිණිස ය.

මේ කාව්‍ය සංග‍්‍රහය මගේ ජීවිතය ගැනත් ඒ හා බැඳුණු ඇතැම්, එහෙත් වියැකෙන මතක පිළිබඳවත් මා දක්වන එක් ප‍්‍රතිචාරයක් පමණි.

සුනිල් ගෝවින්නගේ
ජුන්ඩලප්, බටහිර ඔස්ටේ‍්‍රලියාව

2008 දෙසැම්බර

ඊ මේල්: sunil.govinnage@gmail.com
මා අත රැඳි සිහින් කවි ද යන විට සුළඟට බිය වී
මගේ මනස කෙමෙන් දැවෙයි මතක දවා පැරණි සිතක
මගේ නිවස අඬයි බිය ව ඉකි බිඳමින් පැමිණිළි කොට
මගේ මනස දිව යන විට සොයා මතක පැරණි ලොවක

මා ද බිය ව අඳුර සමග ඉකි බිඳමින් අඬනා විට
අරගෙන යයි පැරණි මතක මගේ මතක දිවයින වෙත
අපේ මතක ඉතිරි වෙතියි කියා ලබන සැනසුම කිම?
එක් දිනයක මතක මඟ ද ඉගිලෙනු ඇත කාලය මෙන!