Tuesday, March 30, 2010

52 - මරණයේ සේයාව

තිසර නදියෙ සිරි බලමින්
එළවමි මා මනරම් රිය
උදම් වෙමින් සතුටු සිතින්
බටහිර ගීයක් අසමින්.

මහ පාරේ සෙමෙන් ඇදෙන
තරුණ කාර් පෙළ අතරින්
මා වෙත දිව එන රථයකි
රියැදුරු සැහැසි ය,දරුණු ය.

නගරය පසු කොට සැණයෙන්
හිණි පෙළ නැග හනි හනිකට
කන්තෝරුව වෙත ඇදුනෙමි
බේරෙන්නට රකුසාගෙන්.

මා සිත බිය පහ කොට යළි
බේරෙන්නට රකුසාගෙන්
උසට රැකුණු මතු මහලේ
කන්තෝරුවෙ මම සැඟවෙමි

ජනේලයෙන් පිට සැඟවුණු ගංතෙර
දකිනට මා සිත ඇල්මක් ඇති වෙයි
ජනේලයෙන් පිට එල්ලී ඇත ඔහු
නැත බේරෙන්නට අද නම් ඔහුගෙන්.

ඇතුළට එන්නට වැර ගන්නා සඳ
සිත බය නැති වග ඔහු හට පෙන්වා
මම ගොස් සැඟවෙමි
වැසිකිළියක් තුළ.

සිරුරු කිස නිමා එළියට එන විට
දොර අයිනේ සිට මට ඉඟි දක්වයි
කළු දත් පෙන්වා සිනහ මුව සදයි
මුව මට හරවා දිගු දත් පෙන්වයි.

දහවල් යාමේ මිතුරන් කැල හා
දොඩමලූ වෙද්දී අහර බුදින සඳ
දිය රකුසකු සේ වෑංජනයකින්
ඔහු හිස ඔසවයි වියරු සිනා පා.

සවස් යාමයේ මනරම් රථයෙන්
යමි මම නිවෙසට විවේක ගන්නට
මා ගොස් වැතිරෙන ඇඳේ වැතිර ඇත
ඒ මිනිමරුවා කළු දත් විදහා.

ඔහු ගැන නොතකා මම ගොස් සැඟවෙමි
ලෝකයෙ තතු ගැන හඬමින් පවසන
රූපවාහිනී වැඩ සටහන් මැද
විවේක සුවයක් ලබන්ට මොහොතක.

මැදියම හෙමිහිට නැඟිටිමි
හද බිය නැති කොට සැනයෙන
කාමරයේ මා ගැවසෙන
ඔහු නැති වග මා හදට පවසමින්

කාමරයේ ඔහු නැති වග දැන ගෙන
ඇඳේ වැතිරිලා සළුවක් පෙරවමි
එළවා දමනට කාමරයේ ඇති
පිළි ගඳ සීතල, ගේ පිටි පස්සට

උඩ සිට ඔහු එයි
දත් විදහාගෙන
දෑත් විදා ඔහු
මා ගෙල මිරිකයි

සැඟවෙන්නට බෑ
රකුසාගෙන් තව
පලා යන්න නැත
සිතකුත් මා හද

Sunday, March 28, 2010

51 - ලංකාවට ලිපියක්

කුරිරු යුද අවි ගැටෙන
පුවත් ම ය නෙත ගැටෙන
නැත ලැබෙන අසුන් පත
සොඳුරු මිතුරන් එවන

කඳුළු කඳු මා නගින
නොදත් මා පිය මා සබඳ
කිම නොඑන අසුන් පත
ගොළු මුහුද රැළි සමග

හස නදිය පාව යයි
හඬා අද දුක් මුසුව
නොලියවෙන කවි රැගෙන
ගොළු මුහුද සොයන්නට

වෙසෙන’මුත් සොඳුරු රට
මගේ හද තැවරි දුක
අසනු මැන මා මිතුර
එතෙර සිට වුව මෙදින

Tuesday, March 23, 2010

50 - රට ගම වෙත යන්නට පෙර

මිතුරන් නෑයින් ගිය පසු
ඔවුන් අඹා යන්නට බැරි
කුඩා කුරුල්ලකු විලසින්
ළතවෙමි හෙට දින මා යන
දුරු රට ඇති රට ගම වෙත

මකා සිතේ බිය හණිකට
හෙට නිසැකව යා යුතු ම ය
පර්ත් නුවර රට ගම වෙත
මගේ රටේ අහස් නැවෙන්
කැන්ගරු ඇඳි අහස් නැවෙන්
මළ විට මා අළු රඳවන
කරකතාව ඇති ගම වෙත

ඉර ද මැරෙන දවස හඬයි
ගොංමං කළුවර එන විට
සිතිවිලි මතකය දිව එයි
මිය ගිය සැමරුම් අරගෙන

සඳ ද ඇදෙයි අබල දුබල
වියළී ගිය රැස් ඇඳගෙන
මගේ මතක ගොනු කරන්න
පැරණි මතක කැටි අරගෙන

ඈත එපිට වෙල් යායේ
මතක රැඳී ඇත දුබලව
පන්දු ගැසූ හැටි පෙර දින
හඳ එන තුරු නිවාඩු දින
අම්බරුවන් නිඳනා තුරු
කමත පුරා දිවූ අයුරු

පිදුරු රැගෙන වෙල් යායක
සඳ ගෙන එයි සොඳුරු මතක
දුබල ව ගිය කිරණ සමඟ
ළමා මතක පිරේ සිතක
ගෙන යන්නට රට ගම වෙත
පර්ත් නුවර මා ගම වෙත

එකතු කරමි මතක පොකුරු
විසුරුණු මාලයක පබුළු
මතක සොයා මම ඇවිදිමි
ගොංමං යාමේ මගෙ රට

බඩවැටියේ ඇළ කණ්ඩියෙ
වතුර හමා යයි තෙල් සේ
නොමැත අවට තිත්ත පැටව්
ළමා වියේ මිතුරන් වූ

උන් ද ගොසිනි මා මෙන් අද
ගොදුරු සොයා මහ සයුරට
ඇළට ගැලූ දිය අරගෙන
සයුරට කඳුළක් අරගෙන
ලෝකයෙ මහ නගරවලට
අවසන මා රට ගම වෙත

සඳ පැතිරෙයි අඳුර වසා
සිත තුළ මතකය වඩමින්
බාල වියේ පාට රැගෙන
අහසේ තරු කැට අතරින්

සැමරුම් ගොනුවෙයි මා වට
කඩා ගනිමි මතක පොකුරු
දිදුලන තරු කැටි අතරින්
පාට කරන්නට අහස ද
හස නදියේ අහස් ගැබේ
ළමා මතක කැටි කොට අද
කඩාගන්න හෙට දිනයේ
ගම රට වෙත මා ගිය විට

Monday, March 22, 2010

49 - පිටකොටුව - 2007 දෙසැම්බර්

නැත පෙර ලෙස,ඇත මහලූව
සඟවා යුගයක් නැති වුණු
බෝ ගස යට අරුම අතර
බුදු හඬ සුළඟට මුසු වෙත

කුණු කඳු පිපි කාණු අතර
ගැවසෙති යාචක දහසක්
රටක දුකක් මට පවසා
පොඩි දරුවකු සිඟා යදියි

සිඟමන් නැති රටක වෙසෙන
තව මිනිසෙකි කඳුළු රඳන
හදක රැඳුණු දුක මකමින්
අබිසරු ඉගි බිගි පාවේ

විසිතුරු බඩු රට සනසන
වේ ය නිබඳ ඩොලර්වලට
ගෙන යන දුක් මුහුණු පමණි
සිත රැඳි මා මතක අතර

48 - කුරුණෑගල

(උදේනි සහ අසෝකා සරත්චන්ද්‍ර යුවළට සහ නගරයේ දී මුණගැසුණු ආලෝක මිනිසුන් වෙනුවෙනි)

ඇතුගල උඩ මහ බුදු රුව
පවසයි දහමක් ලොවකට
සැඟවුණු උරුමය කැටි කොට
නැති වූ උරුමය මතු කොට

වෙළෙඳ හලකි නෙත හුරු වන
ඇසේ බස් ද හද සනසන
ආලෝකය හද රඳවන
මිතුරන් වූ මිනිසුන් කැල

ළඳකි රුවැති ගරු බස් දෙන
හදවත් නවයක් සරසන
නගරය වෙස් ගෙන අලූතව
සඟවා රමණිය පැරණිය

විල් තෙර අසිරිය අරුමෙකි
මිය ගිය යුගයක් රඳවන
මඳ නල දුවමින් සනසයි
මහලුව ගිය ආඳාගල

නැති වූ මිතුරන් සමුවෙයි
කවි සඟවන විල් තෙර මැද
තුටු කඳුළක් දෙනෙත රැඳෙයි
නැති වූ ලෝකය සදමින

යා යුතු වෙයි මගෙ ගම රට
ගොළු මුහුදෙන් එතෙර රැඳුණු
මතක පොකුරු ගෙන යමි මම
යළි එන වග සිහිපත් කොට

(2007 දෙසැම්බර් මස 9)