Sunday, April 4, 2010

55 - මතක මාවතට දිව යමි

හස ගං කෙළවර මතු වී
රැළි රකිනා විට කළුවර
මගේ නිවස ඇත වට කොට
සිහිතල රැළි නළ ගොළුවුණු

ආලින්දයෙ පුටුවක හිඳ
අඬනා විට මා කවි පද
අරගෙන යයි තුරුණු මතක
ගොළු මුහුදෙන් එතර රටට

ආදරයේ ඇඟිලි තුඩින්
මතක ගමන විමසන සඳ
දිවගෙන එයි පැරණි මතක
ගොළු මුහුදේ රැළි විලසින

සැන්දෑ ඉර රජ උයනේ
මරණය සේ ඇවිදින කළ
මතු වී එයි පැරණි සිහින
සොඳුරු අරුම වෙස් අරගෙන

මා අත රැඳි සිහින් කවි ද
යන විට සුළඟට බිය වී
දිවගෙන යයි පැරණි මතක
ගොළු මුහුදෙන් එතෙර රටට

අඳුර ඇවිත් කාමරයේ
ජනේලයෙන් එබෙනා විට
මගේ නිවස ඉකි බිඳිමින්
අඬයි බියව පැමිණිළි කොට

මා ද බිය ව අඳුර සමග
ඉකි බිඳිමින් අඬනා විට
අරගෙන යයි රැඳුණු මතක
මගේ මතක දිවයින වෙත

රැ යම කළුවර ගෙනවිත්
කස පහරින් ගසනා විට
නිදි වෙර කඩමින් මැලි වී
නැගිටිමි සිහිනෙන් අවදිව

රැක ගෙන මා පැරණි මතක
ගොළු මුහුදෙන් එතර රටක
මම සැඟවෙමි සිහින අතර
මැරෙන මතක දිවයින මැද

දරුවන් අප සොරකම් කළ
මිනිසුන් ගැන මා උරණ ව
නිබඳව කරනා පැමිණිලි
අසා හඬන වැළපෙන සිත

වහා රැගෙන යයි හනිකට
මගේ මතක දිවයින වෙත
සොයා ගන්න මැරුණු සිහින
යළිත් නොඑන ගමන් මඟක

උදේට හිරු පැමිණෙන විට
හිරුට සාප නොකර ම මම
නැව් නැග තොටුපොළක් සොයා
යමි රැළි මැද ගොළු මුහුදේ

පෙරවා ගෙන මැරුණු මතක
නිදා ගනිමි රැයක් එතර
ගොළු මුහුදේ කඳුළු අතර
මැකෙන මතක දිවයින වෙත

ඉතිරිව ඇති දින කිහිපය
හෙමින් මැකී යන මේ පැය
මම දුවගෙන යමි හනිකට
ගොළු මුහුදෙන් එතර රටට

මැකෙන මතක අමතක කොට
කළ යුතු වෙයි මා මෙහෙවර
නිම කොට සමු ගෙන යන්නට
මතක නිවා මැරෙන හදක

No comments:

Post a Comment