Monday, May 3, 2010

මතක මාවත - ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතා ලියූ පෙරවදන - 5

"සුනිල් ගෝවින්නගේ මහතාගේ කාව්‍ය රචනාවල දක්නටලැබෙන තවත් විශේෂ ලක්ෂණයක් නම්, බොහෝ විට සිය අත්දැකීම් හා චින්තන පිටස්තරයකුගේ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කොට තිබීමයි. ඔහුගේ ඇතැම් පද්‍යවලට පසුබිම වී ඇත්තේ, ඔස්ටේ‍්‍රලියාවයි. ඇතැම් පද්‍යවලට පසුබිම වී ඇත්තේ ලංකාවයි. දේශය කුමක් වුව ද, ඔහු එම අත් දැකුමි නිරීක්ෂණය කරන්නේ පිටස්තරයකු ලෙසිනි. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහු නිරූපණය කරන කාව්‍ය අනුභූතිවලට නව මානයක් එක් වේ."

විමල් දිසානායක එසේ දකින්නේ, මා කියන බාහිර වෙනස ය.

අභ්‍යන්තරයෙන් වන වෙනස දැකගත හැක්කේ ‘මතක පිළිරැව්’ සහ මෙම කාව්‍ය ත‍්‍රිත්වයේ අන්තිම ඈඳුත්ත වන 'මතක මාවතෙහිය'.

ඒ කිමෙක් ද?

අර කියන කනස්සල්ලත් පරිතාපයත් තුළින් ම, ඔහු ඒ අභ්‍යන්තර වෙනස ද අප ඉදිරියේ ගෙනහැර පායි.

ඒ නම් අනෙකක් නොව, ආත්ම ගවේෂණයයි. සුනිල් ගෝවින්නගේ, බැහැරට වඩා ඇතුළත බලන කවියෙකි; ආත්මය සොයා බලන කවියෙකි. අප බොහෝ කවීන් හට නුහුරු යෙදුමකින් කිව හොත්,'ආත්ම ගවේසි’කවියෙකි කවිය ඇතුළත පිටත දෙකම බැලිය හැකි කැඩපතක් නොවේ ද යන විමතිය මා තුළ දැඩිව හටගත්තේ , ඒ නිසාවෙනි. මුලින් ද කී පරිදි, සුනිල් දැන් ජීවත් වන්නේ බටහිර ඔස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවරය. මව්බිම අතහැර ඔහු එහි පදිංචියට ගියේ 1986 වසරේය, ඒ ගමන "අබිනික්මනකැ" යි කියන කවියා මෙසේද තෙපලයි.

සමුගැන්මක් නොවේ මෙදින
අකලට යන ගමනක් මිස
එන්නෙමි ඔබ වෙත යළි මම
පැන විසඳන නුවණ රැගෙන

ඒ කවි පෙළට ඔහු ලියන පාදක සටහන මෙබඳුය.

"එවකට රාජ්‍ය නොවන ආයතනයක සේවය කළ මගේ කලකිරීමත්, 1986 දී රටින් බැහැරව යාමට බලපෑ හේතුවත් ගැන ඉගියක් අඟවන මේ කවිය 1985 දෙසැම්බර් මස 22 දින ඉරිදා දිවයින පත‍්‍රයේ ‘සමුගැනීම’ යන මාතෘකාව යටතේ පළ වූයේ දිවංගත දයාසේන ගුණසිංහ කවියාගේ අනුග‍්‍රහය නිසා ය."

ඒ නම් ‘සමුගැනීමක් නොවේ’ යැයි කියන්නට මෙන්, ඔහු වරින් වර ලංකාවට එයි; ඇවිත් යයි. ඒ එන විට ‘පැන විසඳන නුවණ’ ගෙනාවේ ද යනු වෙනත් කාරණයකි!

No comments:

Post a Comment