Thursday, May 13, 2010

මතක මාවත

මතක මාවත - ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතා ලියූ පෙරවදන - 6

විවිධ තේමාවන් යටතේ ලියවුණු කවි කිහිපයක් මගේ මූලික විමර්ශනයෙන් බැහැර කළ පසුව ද, ඉතිරි වන බහුතර පද්‍ය සංඛ්‍යාව අපට හෙළි කරන අපූරු දෙයක් ඇත. ඒ නම්,මේ කවියා 'දෙරටක නොරැටියකු' වී සිටින බව ය. මේ කවි තළු මා දකින අපූර්වය එබැව්, නොවළහා කියනු කැමැත්තෙමි. කවියා තමාගේ දැනමුත්තා (mentor) යැයි නොකියා කියන විමල් දිසානායකගේ ‘නාගල කන්ද’ කාව්‍යයෙන් අපූරු පැදි කඩක් 'මතක පිළිරැව්'හි නව ලෝකය යන කොටස අරඹමින් උපුටා දක්වයි:

”රට හැරදා ගියේ ඇයි ද
අසත් කෙනෙක් විමතියකින්
රට හැරදා මම නොගියෙමි
ගියෙමිය මම රටත් සමග”

සැබැවින් ම සුනිල් ගෝවින්නගේ පර්ත් නුවර ගොස් සිටින්නේද, රටත් රැගෙන ය. ඒ බැව් මෙම කාව්‍ය සංගහ‍්‍ර තුනෙහි ම එන නිර්මාණ තුළින් දැකගත හැකි ය.ඔහු ලංකාවට යළි එන විට, බටහිර ඔස්ටේ‍්‍රලියාවෙන්ද බිඳක් රැගෙන එයි. එනබැවින් ද ඉතා පළ ය. එහෙත් අවුරුදු විසි දෙකක විදේශ වාසයෙන්පසුව ද, ඔහු දෙරටටම "නොරැටියෙ’.

මෙම තත්ත්වය කිසියම් කවියකුගේ ජීවන පවත පිළිබඳ ඛේදවාචකයක් හෝ ශෝකාලාපයක් විය හැකි ය. ඒ නමුදු, ඒ නම්, සුනිල්ගේ කවි කෙරෙහි මා බැඳී ගියේ ඒනිසාවෙනැයි නැවත ද කියමි. සීමිත අත්දැකීම් හේතුවෙන් හෝ වෙනත් හේතුවකින් හෝ
කොදෙව් චින්තනයක කොටු වන, ඒ චින්තනය වුව, දුඹුල් වූ විට - දුගී වූ විට - ප‍්‍රහේලිකා කවි ලියන, බොහෝ විට ගම්වැසිවදනරුත් ම කියන,පසුබිමක්මත මේ නම් සැබැවින් ම අරුමයකැයි මට සිතෙයි.

අපගේ බොහෝ කවිවල ගමත් නගරයත් අතර ගැටුම කොතෙකුත් කියා ඇත. අව්‍යාජව මෙන් ම ව්‍යාජව ද කියා ඇත. එතෙකුදු වුවත්, රටත් නොරටත් (ලෝකයත්) අතර ගැටුම කියන්නට, අපගේ කවීන්ට ඒ තරමට අවසථ් ාව ලැබුණා නොවේ. මේ බැල්මෙන් ලොව
බලන්නට වෑයම් කළ කවියා, මහගමසේකර ය. ඔහු ලෝකය තුළ රට තබා බලන හැටි, 'හඳ සහ නිව්යෝර්ක් නුවර' යන රචනයෙන්ද, විශ්වය තුළ පෘථිවිය තබා බලන හැටි ‘චන්ද්‍රග‍්‍රහණය’ යන රචනයෙන් ද කියා පෑවේ ය.‘හඳ සහ නිව්යෝර්ක් නුවර’ රචනයෙහි මුල් අඩ මෙසේ ය:

කළු ගැහී තරගයට ඉහළ ගිය
සිමෙන්ති බිත්ති මිසක
ඇසට නිලට
අහසක් ගහක් කොළක්
අවටක් නැත,
නිව්යෝර්ක්නම් පුරවර
සියක් මහල් එක්ටැම්ගෙය මුදුනේ
දොරජනෙල් වසා සිර කළ කාමරයක
ඇඳක් - පුටුවක් - මේසයක්
-මම,
මම පොළොවේ අනිත් පැත්තෙ
සෙනෙහැති දෙමාපියන්
නෑ මිතුරන් අඹු දරුවන්
මට සිහි වෙයි.


මළ පාළුව පලවන්නට කවියා කියන කවිය, ආපසු ඇවිත් ඔහුගේ කන තුළට රිංගාගනීවී ප‍්‍රපාතයට එබී බලන විට, කුරා කුහුඹු මිනිස් යන්ත‍්‍රය, කවියා දන්නා හඳුනන අය සිටින්නේ මහ පොළොවේ අනිත් පැත්තේ ය. කවියා මහා දුකින් ඉහළ බලයි. ඔහු දකින්නේ කුමක් ද?

දිලිහි දිලිහි ආකාසේ රන් පිගාන සේ
හඳ,
මා දන්නා අඳුනන
අපේ ගමේ වෙල් එළියට පායන හඳ
පෝය දාට බෝ මළුවට පායන හඳ,
(බෝඩිම - මහගමසේකර - 1970 දෙසැම්බර් 47-48 පිටු)

මහගමසේකරගේ ‘චන්ද්‍රග‍්‍රහණය’ රචනයට විෂයය වන්නේ මිනිසාගේ සඳ තරණයයි. මෙම දීර්ඝ රචනයේ අග භාගයේ දී සඳ මත සිට බලන විට මහ පොලවේ උදාව කවියා දකින්නේ මේ ආකාරයෙනි:

සුවහස් රස් විහිදුවමින් දිලිහි දිලිහි
ඒ මොහොතෙහි
සඳ කතරින් උදා විය
නව සුරපුර
මහා පොළොව
පෙර කිසි විට නුදුටු අමුතු අසිරියකි
නෙත් අයා බලා සිටියේය ඔහු
ගල් ගැසී විස්මයෙන්
මත්ව එහි මහිමයෙන්.
පොළොව හා එහි වෙසෙන
මිනිස් සත්වග කෙරෙහි
අචල විශ්වාසයෙන්
අපිරිමිත අසීමිත භක්තියෙන්
ඔහුගෙ සිත ගත නහර
පිරී ඉතිරී ගියේය
තෙමා රළු සඳ කතර
ගලා ආයේය නෙතින් තුටු කඳුළු
පින්බර රන් පසැති පොළොව
ගං ඇළ දොළ නිලන පොළොව
සව් සැපතින් පිරුණ පොළොව
මිනිසා වැනි උතුම් පුතකු ලැබූ පොළොව
සැකයක් නැතිය
සුරපුරමය,
ඔහුට සිතිණ,


(බෝඩිම - මහගමසේකර - 1970 දෙසැම්බර් 84-85 පිට)

මිනිස් වගට අයිති මහ පොළොවට සඳ උදාව සේ ම, ඇතැම් විට වෙනත් සත්වගකට අයිති සඳට පොළොව උදා වෙයි. සැබෑ කවියකුගේ
දේශ පේ‍්‍රමය යනු, මානව පේ‍්‍රමයේම ඇබිත්තකි. ඒ මානව පේ‍්‍රමය යනු, විශ්ව පේ‍්‍රමයේ ඇබිත්තකි. ‘චන්ද්‍රග‍්‍රහණය’ ලියන අවධියේ මහගමසේකර සිටියේ එකී චින්තන තලයේ ය.

ඒ අනුසරින් බලන විට, එමගෙහි ඊළග පියවර තබන කවියා සුනිල් ගෝවින්නගේ නොවේදැයි මට සිතෙයි.

No comments:

Post a Comment