Monday, September 28, 2009

30 - අරුත් සොයා යෑම

රටින් රට සැරි සරන
මේ ගමනෙ අරුත කිම?
යා යුතුය මා වහා
මගේ ගම් දනව්වට

ජීවිතේ අරුත් දත්
මා නොදත් පඬිවරුන් සොයා ගොස්
ලෝකයේ රටින් රට සැරි සැරූ
මේ ගමනෙ අරුත කිම?

හිම රැඳුණු කඳු මුදුන්
කඳුළු කැටි සැලූ විට
ලියූ සුදු කවි පෙලක
මා සැදූ අරුත කිම?

අත් හැර ද මව් බිම ද
එතර වී මහ සයුර
සොයා නෙක ඉසුරු රැස
සදා සුදු මිතුරු කැළ
ලියූ සුදු කවි පෙලක
මා සැදූ අරුත කිම?

මහා තුඟු මැදුරුවල
වෙසෙන මා මිතුරු කැළ
රස තවා ආහාර
නවාතැන් දුන් විට ද
සතුටු වී උන් ගැන ද
ලියූ සුදු කවි පෙලක
මා සැදූ අරුත කිම?

දෙසූ දින සුළු වදන්
පර බසක් කොට වියත්
මා දෙසූ ඒ වදන්
අරුත් රැඳි බව කියූ
වියත් කැළ දෙඩූ බස්
සිත පුරා හඳ රැඳුණු
බව කියා දින පොතක
මා ලියූ කවි පිරුණු
සටහනක අරුත කිම?

ඉසුරු පිරි පැරිස් පුර
දනන් හද මන බැදූ
වෙණ ගැයූ දෙනෙත් අඳ
ගඳඹ දුටු දින එදින
මහ සයුර ලෙස කැළඹි
මගේ හදවතේ වග
මා ලියූ කවි පිරුණු
සටහනක අරුත කිම?

ඉසුරු රැඳි පැරිස් පුර
සරණගත හෙළ පුතුන්
දුටු දිනෙහි සතුටු වී උරණ වී
සරණගත හෙළ පුතුන්
අඳුර රැඳි රටක් හැර
ජීවිතේ සහනයක් සොයන වග
කියන්නට මා ලියූ
කවි පෙළක අරුත කිම?

මේ ගමන නිමා කොට
යා යුතුය ගෙදර මා
නිම නොවූ මෙහෙවර ද
අපමණය වියරු ලොව

කඳුළු හෙළනා දනන්
ඇත මතක දිවයිනක
එහෙත් මා යා යුතුය
දකුණු කුරු දිවයිනට
සුතනඹුන් රැඳී ඇති!


(පැරිස්, 2007 අප‍්‍රියෙල් 28)

No comments:

Post a Comment