Friday, December 4, 2009

40 - බිහිරි සැමියා

මා බිහිරි ව ගොස් ඇති බව
පවසයි ඔබ නිරතුරුව ම
ලියා තබයි කුඩා හසුන්
මා ගැවසෙන කාමරයක

ඔබේ මියුරු වදන් තවත්
නොඇසෙන අප නිවස ගැන ද
සැකයක් මා සිතේ තිබිණ
මෙතුවක් කල් නොදැන අරුත

මිහිරි තෙපුල් සාද කතා
අප නිවසෙන් පලා ගොස් ද
මගේ සිතේ පැනයක් විය
මෙතුවක් කල් නොදැන අරුත

ඔබේ මියුරු වදන් සැම ද
මැල වී යයි මා සවනත
සිත මා බිය වී ය නිබඳ
එකල නැගුණු ගිනි ද නිවිණ

මා බිහිරිව ගොස් ඇති බව
ලියා තැබූ පසු අද දින
නිසසල විය කැළඹුණු හද
එකල නැගුණු ගිනි ද නිවිණ

ලියනු මැනවි සොඳුර තුටින
කළ යුතු වැඩ දිනපතා ම
කොළයක සටහන් කරමින්
පෙර මට ලියු පෙම් බස් මෙන්

සිටිය හැටිය සදා තුටින
මෙදා සොඳුරු බිහිරි ලොවක
කියවා ඔබ අණ තුටු ලෙස
නිති පිළිපදිමින් දෙන අණ


(2007)

No comments:

Post a Comment