Friday, December 18, 2009

45 - සිංහලෙන් නොලියන්න!

සිංහලෙන් නොලියන්න. ලියන්නට හිතන්න, ඉංග‍්‍රිසි කවි ගැනම!
- හිටපු කවියකු දුන් ඕඩරයක්

”සිංහල නොලියන්න.
ඉන් පලක් නැහැ ඔබට
මාත් දැන් ලියන්නේ
අළුත් දේ ගැන තමා
ඒත් ඉන් පලක් නැහැ
තේරෙන්නෙ නැහැ උන්ට
කියවන්නෙ නෑ එවුන්
ඩෙරීඩා ගැන මොකුත්!”

නැගේ පැනයක් මසිත

හෙළ බසින් කවි සදන
කාලයක් නැතුව ඇති
අළුත් දේ ලියන්නට
මනස යොමු කරන විට

ඔබ වටා රැස් ව ඇති
පහළ සිට ඔබ දකින
කන්තෝරු පිරිස් කැල
මැද රැඳුණු සඳක් වූ
සොඳුරු මා සබඳ අද
අළුත් දේ ලියන්නට
මනස යොමු කරන විට
හෙළ බසින් කවි ලියන
කාලයක් නැතුව ඇති

මැති ඇමති තුටු කරන
මුසා බස් ලියන ඔබ
මිනිස ඔබ කවියෙක් ද
ජීවිතේ ඉහළ නැගි?

ලෝක බැංකු ද වඳිත
උන් සරණ පතා ගෙන
ජීවිතේ ඉහළට ම නැඟණු ඔබ
අණ අසමි ගොළු මුහුද එතර සිට

අළුත් දේ ලියන්නට
අළුත් දේ කියන්නට
මනස යොමු කරන ඔබ
ගැන මතක දනිමි මම

පැරණි මතකය මරා
පැරණි පෙම ඉවතලා
දෑවැද්ද ගෙන එදා
අළුත් දිවියක් සදා
ක්ලාස් වන් හිස රඳා
නැගුණු සැටි ජීවිතේ හිණි සදා ...

මා මනසෙ කැටි ගැසුණු
කොම්පියුට මතකයකි

”සිංහලෙන් නොලියන්න”
ඉහළ සිට දෙන අණ ද
පිළිගන්න සිතන‘මුත්
සිහළ බස නැත මැරී
එතර වුව ගොළු මුහුද

සිඛ වළඳ නැති වුව ද
මතකයේ රැඳී ඇත
කවි ලියන හද බසක්
මගේ දිවි වැළඳ ගත්

මතකයේ රැඳී ඇත
කවි ලියන හද බසක්
ලියන්නට මගේ හද
පාරවන පුවත් ගැන

මතකයේ රැඳී ඇත
හිටපු කවියන් ගැන ද
මතක දිවයින ගැන ද
ඉංගිරිසි බස නැතිව!

No comments:

Post a Comment