Monday, September 28, 2009

31 - මතක යුවතිය

නුරා නුවන් යුග මතකෙන් මතු වෙයි
වියැකුණු හසරැළි යළි මන ඉපදෙයි
පුළුල් උකුළු තල යළි දසුනක් වෙයි
ඔබ රුව මතකය යළි ඉගිළී එයි

ඔබ රුව මතකය ගෙන ආ යුවතිය
ගුවන් යානයේ හනිකට දිව යයි
නිබඳ කුළුණු ගුණ වදන් තවරමින්
මිය ගිය මතකය කැටුව මවෙත එයි

මැරුණු තුරුණු විය සිහින ලොවක් මැද
ගෙවූ වසර හැම කල්ප සයුර විය
කිසිදා නොමැරුණු මතක කල්ප යුග
ඉපදුණු මොහොතකි අතීතයට වැදි

ගෙවූ වසර හැම මතකය කැටි කොට
කෙටි ගමනකි මෙය සුතනඹු වෙත යන
කල්ප ගණන් තුළ බිහි වූ සැමරුම්
නිමවනු ඇත කෙටි හොරා ගණනින්

මතකයෙ ගිළිහුණු නුරා යුවන් යුග
වියකෙනු ඇත මේ ගුවන් ගමනෙ අග
ඔබ ගැන මතකය දුරු කොට හනිකට
යා යුතු වෙයි මා සුතනඹු වෙත අද

කළ යුතු මෙහෙවර ඇත අද අපමණ
යා යුතු වෙයි මා සුතනඹු වෙත
නොරැඳේ නොමැරුණු මතක කල්ප යුග
කළ යුතු මෙහෙවර නිමවෙන හෙට දින

1 comment:

  1. සමහර සිදුවීම් වල කාල පරාසය නිමේශයක් විය හැකියි . . නමුත් ඒහා බැඳුනු මතකය කල්ප කාලාන්තරක් හදේ රැඳිලා තියෙනවා වගේ දැනෙනවා . . . ඒ නිසාවෙන් වෙන්න ඇති මේ පැදි පෙලට ඇල්මක් ඇති වුනේ මට . . .

    ReplyDelete