Friday, August 14, 2009

මතක මාවත කාව්‍ය සංග‍්‍රහය ගැන සටහනක්

කවියකු හෝ ලේඛකයකු සිය නිර්මාණ කාර්යය හමාර කොට ඒවා පාඨකයන්ට ඉදිරිපත් කළ පසු, යළි තමා ලියූ දේ ගැන ලිවීම නොකළ යුත්තක් බව මම දනිමි. මේ සටහන මා ලියා හමාර කළ කවි පිළිබඳ ව නොව, ඒ කවිවලින් බොහොමයකට පසුතලය වූ මතකය පිළිබඳව මගේ අදහස් කිහිපයක් සටහන් කරන්නට ගන්නා වෑයමක් පමණි.

ඡයාරූප ශිල්පයකු ආලෝකය සිය මාධ්‍යය කොට තමා වටා ඇති ලෝකය ප‍්‍රතිනිර්මාණය කරයි. එහෙත් කවියෙකුට භාවිතා කළ හැක්කේ තමා සොයා ගන්නා වචන ඇසුරෙන් ඔහු හෝ ඇය දකින නැති නම් අවලෝකනය කරන ලොව පාඨකයන්ට ඉදිරිපත් කිරීම යි. ජීවිතයේ සැඳෑ සමයට එළඹ ඇති මා, මේ කාර්යයේ නියැළෙන විට මා දකින්නේ පසු ගිය කාලය පුරා මා ඉතා වේගයෙන් පසු කර ආ ගමන් මඟක රැඳි මැකී යන මං සළකුණු ලෙස ය. ඒ මග සලකුණු ඉතා වේගයෙන් මතකයෙන් ගිලිහෙමින් පවතී.

මගේ මතකය සේ ම, මා දන්නා හඳුනන මිතුරු මිතුරියන් ද නොකියා ම සමු ගන්නා විට මේ මතක ගමන ආවර්ජනය කිරීමේ වැදගත්කම වඩාත් ම පසක් වෙයි. එසේ ම ඉතිරි වී ඇති සැඳෑ සමයේ මතකයන් ලියා තැබීම ද මතක මාවත සොයා යන්නා සේ ම වැදගත් වෙතියි මට සිතේ. මේ කාර්යයේ වැදගත් මට පළමුවෙන් ම අවබෝධ වූයේ මතකයත් සමරණයත් තේමාව කරගත් විමල් දිසානායක කවියා ගේ නාගල කන්ද කාව්‍ය සංග‍්‍රහය කිය වූ පසු ය. දෙවැන්න මෑතක දී මිය ගිය හිතවත් පද්මාල් ද සිල්වා මිතුරා සමග නිම නො වූ මතකය පිළිබඳ ව කළ සංවාදයකි.

මා වටා රැඳී පවතින ලෝකය මෙන් ම, මගේ මතක මාවතේ ඇඳී තිබෙන බොහෝ දේ ද වියකෙන බව මට අවබෝධ වුයේ බොහෝ කලකට පෙර දී ය.

ජීවිතයේ අභියෝග නොපිළිගන්නා තුරුණු වියේ දී මෙන් නොව මැදියම් විය බොහෝ විට රැගෙන එන්නේ ජීවිතය පිළිබඳ කම්පිත පණිවිඩයන් ය. ජීවිතය යනු මනා සේ සකස් කළ සැලසුමකට අනුව කි‍්‍රයාත්මක කළ හැකි ව්‍යාපෘතියක් නොව, කිසිවෙකුට සිය සිතැඟි අනුව පාලනය කළ නොහැකි කි‍්‍රයාවලි රාශියකින් සමන්විත ප‍්‍රවාහයකි. තුරුණු වියේ දී අප පැතූ පැතුම් ඉටු නොවන බවත්, ජීවිතය කිසි ම රටාවකට අනුව සකස් කර ගත හැකි සිත්තමක් නොවන බවත් සාක්ෂාත් කර ගන්නා විට බියක් මෙන් ම කම්පනයක් ද ගොඩ නැගෙන්නට පටන් ගනී. කොතරම් හෝ පෝෂ්‍යදායක ආහාර අනුභය කොට මනා සෞඛ්‍යයෙන් ජීවත් වුව ද රෝග ව්‍යාධීන් මෙන් ම මහළු වියත්, අවසානයේ දී දවස නිමා වී ඉර බසින්නාසේ, මරණය එළඹෙන බව අවබෝධ වන විට පෘථග්ජන අප එබඳු යථාර්ථයන්ට විවිධාකරයෙන් ප‍්‍රතිචාර දක්වන්නට පටන් ගනී.

ජීවිතය මට ඉදිරිපත් කර ඇති යථාර්ථයන්ට මා පළමුවෙන් ප‍්‍රතිචාර දක්වන්නට පටන් ගත්තේ මා මෙතෙක් ගෙවා ඇති කාලය මෙන් ම කළ නොහැකි වූ ඉමහත් වූ මෙහෙවර ගැන ද අවලෝකනය කොට ඉතිරි වී ඇති කාලයට අනුව නව ජීවිත ව්‍යාපෘතියක් සකස් කිරීමට උත්සාහ කිරීම ය. එය ද නිෂ්ඵල ව්‍යායාමයක් බව ද අවබෝධ වූ පසු යම් තරමින් හෝ කාලයක් ඉතිරි වී ඇත්නම් ගෙවෙමින් යන කාලයට සාප කරනු වෙනුවට ජීවිතය පිළිබඳව ආවර්ජනය කිරීම මැනවයි මට සිතිණ.

මගේ ජීවිත මතක මාවතට පිවිසීමට මා දැරූ වෑයම, මගේ ජීවිතාවර්ජනය කි‍්‍රයාවලිවලියේ කොටසක අතුරු පලයක් ලෙස මම දකිමි. ඇතැම් ලේඛකයෝ සිය ජීවිත කථාව ලියා තබමින් මේ කාර්යට එළඹෙති.

මා දන්නා ඇතමෙක් බාල වියේ දී තමාට හිමි නො වූ කෙළි බඩුවලට ආදේශ කරමින් මහා වියදමක් දරා අලංකාර රථ වාහන මිළ දී ගනිති. ඇතම් අයෙකූ තමන් සේ ම මහළු වියට පත් වූ තම අඹුව සරණයෙන් ඉවත් කොට, තිඹිරි තන සහිත යුවතියක සමග ඉතා සතුටින් දිවි ගෙවන්නට සිතා යළිත් නව දිවියක් පටන් ගනී.

ඉතා දුක් මහන්සි වී, උගත් දරු මල්ලන් තැනූ මගේ පැරණි මිතුරකු මතු දිනයක දී මොංගෝලියාවට ගොස් විශ‍්‍රාම ගන්නා බව මට ලංකාවේ සිය ලියා දැන් වූයේ ය. එහෙත් ඊට බලපාන ප‍්‍රධාන ගැටළුව අවශ්‍ය විදේශ විනිමය බව සඳහන් කිරීමට ද ඔහු අමතක නොකළේ ය. තිසර නදියෙන් ආරම්භ කොට ලංකාවේ නගරයකට කුකබරුවකු ගෙන යන සංදේශයක් ලිවීම සිය ජීවිතයේ පරමාදර්ශයක් බව වසර විස්සකට පෙර මට පැවසූ, සාහිත්‍යය පිළිබඳ ව ඉතා දුර්ලභ කුසලතා ඇති මගේ තවත් හොඳ මිතුරකු මේ වනතුරු එකම අකුරක් හෝ ලියා පළ කොට නැත.

මා මේ උදාහරණ ගෙන හැර දක්වන්නේ විවිධ පුද්ගලයන් විවිධාකාරයෙන් සිය ජීවිත ගත කළ යුතු අන්දම ගැන සිතනාකාරයත් ඊට ප‍්‍රතිචාර දක්වන ආකාරයත් අවධාරණය කරනු පිණිස ය.

මේ කාව්‍ය සංග‍්‍රහය මගේ ජීවිතය ගැනත් ඒ හා බැඳුණු ඇතැම්, එහෙත් වියැකෙන මතක පිළිබඳවත් මා දක්වන එක් ප‍්‍රතිචාරයක් පමණි.

සුනිල් ගෝවින්නගේ
ජුන්ඩලප්, බටහිර ඔස්ටේ‍්‍රලියාව

2008 දෙසැම්බර

ඊ මේල්: sunil.govinnage@gmail.com

No comments:

Post a Comment